මහ මැතිවරණය සම්බන්ධයෙන් මතුව තිබෙන සන්ධානය හා එහි සලකුණ ඇතුළු කරුණු සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ දහයේ කමිටුව අදත් රැස්වීමට නියමිතය.
එම කමිටුවේ සාමාජිකයෙකු සඳහන් කළේ අද (18) පාර්ලිමේන්තුවේදී එම හමුව පැවැත්වෙන බවයි.
මෙම කමිටුව ඊයේ දින රැස්වීමට නියමිතව තිබුණත් සජිත් ප්‍රේමදාස මහතාට වෙනත් කටයුත්තක් යෙදීම නිසා ඊයේ දින පැවැත්වීමට නොහැකි වූ අතර අද දවසේදී පවත්නා ගැටළුවලට නිශ්චිත ලෙසම විසඳුමක් ලබා ගත හැකි වනු ඇති බවයි ඔහු පැවසුවේ.
සන්ධානයක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති නමුත් දැන් ලකුණ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට සිදුව තිබේ.
අලියා, හංසයා සහ හදවත ලෙස සලකුණු තුනක් යෝජනා වී තිබුණද වැඩි ඉඩක් ඇත්තේ හංසයාට බවද සඳහන්.
අලියා සලකුණ සම්බන්ධයෙන් ගැටළුවක් මතුවුවහොත් හංසයා දෙසට යොමුවීමට නියමිත බවද වාර්තා විය.
කෙසේවෙතත් අද දිනයේදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවත් අනතුරුව හෙට දිනයේ පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සියල්ල සමථයකට පත්කර ගැනීමට හැකි වනු ඇති බවත් දහයේ කමිටුවේ සාමාජිකයා කියාසිටියේය.
මෙම කමිටුව නියෝජනය කිරීම සඳහා රනිල් පාර්ශ්වයෙන් අකිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක, ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල සහ නවීන් දිසානායක යන මන්ත්‍රීවරුන් පත්කර ඇති අතර සජිත් පාර්ශ්වයෙන් මේ සඳහා සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුම බණ්ඩාර, මංගල සමරවීර, කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම යන මන්ත්‍රීවරුන් පත්කර ඇත.
(LNW)