වත්මන් රජය ද ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ කටයුතු කරන්නේ පසුගිය රජය විසින් එහිදී ගත් ස්ථාවරයම මුල් කරගනිමින් බව සතුටින් ප්‍රකාශ කරන්නේයැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම මහතා පවසයි.
ඒ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් මහතා විසින්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බව ද සඳහන් කළ ඒ මහතා ශ්‍රී ලංකාවේ කිසිදු රජයක් ශ්‍රී ලංකා හමුදාවට එල්ල වුණු මානව හිමිකම් කඩකිරීමේ චෝදනා පිළිගෙන නොමැති බවයි අවධාරණය කළේ.
"අපි කිසි විදියකින් පිළි අරගෙන නෑ මේ යුධ අපරාධ පිළිබඳ චෝදනාව. ඒවායේ කිසිම සත්‍යතාවයක් හෝ වැදගත්කමක් තියෙනවා කියලා කිසිම ලංකා රජයක් පිළි අරගෙන නෑ.
ජිනීවා ප්‍රශ්නයට අපි රජයක් හැටියට මුහුණ දෙනවා. සතුටුයි කියන්න, මේ රජයත් හුඟක් දුරට අර පසුගිය වතාවේ ජිනීවාවල ගත්ත ඒ ස්ථාවරය මුල් කරගෙනම තමයි ස්ථාවරයක් නිර්මාණය කරගන්නෙ කියලා ජී. එල්. පීරිස් මහතා ප්‍රසිද්ධියෙම කියලා තියෙනවා.
ඒ ජිනීවා කණ්ඩායමට මමත් ගියා. මමයි මාරපන මහත්තයායි ගියේ. ඒ ප්‍රකාශය අපි දෙන්නම එක්කහු වෙලා තමයි හැදුවෙ. ඒකෙන් අපි පැහැදිලිවම කිව්වා, ජිනීවාවල මොනවා කිව්වත් අපේ ව්‍යවස්ථාවට පිටින් කිසිම දෙයක් කරන්න බෑ කියලා. ජිනීවා තියා කොහෙන් කිව්වත්, මොන ලෝකෙන් කිව්වත් අපේ ව්‍යවස්ථාවට පටහැණි දේවල්වලට අපට එකඟ වෙන්න බෑ කියලා" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.
ආචාර්ය සරත් අමුණුගම මහතා මේ බව පැවසුවේ ඊයේ (17) මහනුවරදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටම සම්බන්ධ බොහෝ පාර්ශ්වය පසුගිය සමයේදී ප්‍රකාශ කර තිබුණේ පසුගිය රජය විසින් 2015දී ජිනීවා කොමිසම හමුවේ රට පාවා දුන් බවකි.
(LNW)