හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොහොට්ටුව ලකුණ යටතේ කිසිසේත්ම නාමයෝජනා ලබා නොදිය යුතු බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් සිය පක්ෂ නායකත්වය වෙත දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසරක් සපිරෙන ආසන්නයෙහි මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති හෙයින් මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එකම වේදිකාවකට ගොඩවීම යනු සියදිවි නසා ගැනීමක් බවයි ඔවුන් තරයේ අවධාරණය කර ඇත්තේ.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පසුගිය ජනාධිපතිවරණයේදීත් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ජනමතය ගොඩනැංවීම සඳහා භාවිතා කෙරුණ ද මේ වනවිට හෙළිදරව් වී ඇති කරුණු අනුව එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රහාරයට පෙර ඒ පිළිබඳ අනතුරු හැඟවීම් ගැන සම්පූර්ණයෙන් දැනුවත්ව සිටියදීත් එය වළක්වා ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති හෙයින් තත්වය ඉතාම බරපතළ බව ඔවුන් විසින් පක්ෂ නායකත්වය පෙන්වා දී ඇති බව සඳහන්.
එසේම දැනට ඇප මත නිදහස්ව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඉදිරියේදී ජනාධිපති කොමිසම හමුවේ සිදුකරනු ඇති අනාවරණයන් සමඟ තත්වය මීටත් වඩා උග්‍ර අර්බුදකාරීත්වයක් කරා වර්ධනය වනු ඇති බව ද ඔවුන් විසින් සඳහන් කර තිබේ.
ඒ අනුව අප්‍රේල් 25 වනදා පමණ වනවිට පැවැත්වෙන මහමැතිවරණයකදී මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එකම ලැයිස්තුවකින් මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාස්කු ප්‍රහාරය ගැන කටක් ඇරීමට නොහැකි වනවා පමණක් නොව එහි වගකීම පවා සාමුහිකව බෙදා ගැනීමට සිදුවන බවත් ඔවුන් දැඩිව පෙන්වා දී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
එහෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානගත වුවත් මෛත්‍රීපාල සිරිසේන මහතාට මැතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ ලබාදිය නොහැකි බව දැන්ම තබා දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදාළ මැති ඇමතිවරුන් පිරිස පක්ෂ නායකත්වයට යෝජනා කර ඇති බව ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.
(LNW)