Saturday, May 18, 2024
Follow Us
හංසයාගෙන් ආවොත් මන්ත්‍රී ධූර අවදානමේ – එජාපය යළිත් පඹගාලක

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත නව සන්ධානය ‘‘හංසයා’’ ලකුණෙන් ඉදිරිපත් නොවී ‘‘අලියා’’ ලකුණෙන්ම ඉදිරිපත් විය යුතු බවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ දේශපාලන පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී ඇත.

‘‘හංසයා’’ ලකුණ දරන දේශපාලන පක්ෂය වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායකට අයත් පක්ෂයකි. එම ලාංඡනය මත සන්ධානය බිහි කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීමට කාලයක් නොමැති බව එම මන්ත්‍රීවරු සහ දේශපාලන පක්ෂ පෙන්වා දෙති.

තවද, මෙම ලාංඡනය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත්ව අනාගතයේදී ගැටලුකාරි තත්ත්වයක් ඇති වුවහොත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර පිළිබඳව සහතිකයක් නොමැති බවද ඔවුන්ගේ තර්කය වී තිබේ. එම නිසා පවතින නීතිමය ගැටලු පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සමග සාකච්ඡා කර අද (17 වැනිදා) දින වන විට වාර්තාවක් ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂයේ නීතිඥ මණ්ඩලයට දැනුම් දී තිබේ.

එම වාර්තාව සහ පක්ෂ අර්බුදය විසඳීම සඳහා පත් කළ දස පුද්ගල කමිටු වාර්තාව පදනම් කර ගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳවීමට නියමිතව ඇත.

(Lanka Leads)