Sunday, July 13, 2025
Follow Us
සන්ධානයක් නැහැ : එන්නේ පොහොට්ටුවෙන් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති කරගන්නා බව කී සන්ධානය පිහිටුවීම ඉදිරි මහමැතිවරණයට පෙර සිදු නොවන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණෙන් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීමට සිදුවනු ඇති බවත් එම සන්ධානයේ පක්ෂ නායකයෙක් පැවසු බව ‘අනිද්දා’ පුවත්පත වාර්තා කර ඇත.

එම පුවත්පත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

”නව සන්ධානය ලියාපදිංචි කරනවා නම් මාර්තු 10 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර එය කළ යුතු බවත්, ඒ සඳහා දැනට ඇත්තේ සති දෙකක කාලයක් පමණක් බවත් එම පක්ෂ නායකයා පෙන්වාදුන්නේය.

නව සන්ධානය ලියාපදිංචි කරන්නේ නම් ඉතා ඉක්මනින් එය කළ යුතු බව පෙන්වාදුන් එම පක්ෂ නායකයා වැඩිදුරටත් කීවේ දැනට ඒ පිළිබඳව කිසිදු හදිසියක් පොදුජන පෙරමුණ පාර්ශ්වයට නොමැති බවය.

පැහැදිලිවම පෙනෙන ආකාරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් නව සන්ධානයක් ඇති කිරීම ගැන උනන්දුවක් නොදක්වන බවත් පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට ඔවුන් කැමැත්තක් දක්වන බවත් ඔහු පෙන්වාදුන්නේය.

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව පැවති සාකච්ඡාවලදී ඔහුගේ අදහස වී ඇත්තේද එය බව ඔහු කීය.

දැනට නව සන්ධානය ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු ඩලස් අලහප්පෙරුම හා රාජා කොල්ලුරේ දෙපළට බාරදී ඇතත් එම දෙදෙනාම වෙනත් කටයුතු සමග කාර්යබහුල වී සිටින බවද ඔහු වැඩිදුරටත් කීය.

(අනිද්දා)