කුඩා කාලයේ සිට මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ආසාවක් තිබූ බවත්, එම බලාපොරොත්තුව මෙවර ඉටුවන බවත් ජනප්‍රිය නිළි ඕෂධී හේවාමද්දුම මහත්මිය පවසනවා. ඒ අනුව පොදුජන පෙරමුණ හා එක්ව බදුල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බවයි ඇය යූටියුබ් නාළිකාවක් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙන්නේ.
කලාකරුවන් දේශපාලනයට සම්බන්ධ වීම පිළිබඳව සමාජයෙන් එල්ල වන විවිධ විවේචන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕෂධී පවසන්නේ පැරෂුට් මෙන් එක්වරම දේශපාලනයට කඩා පැනීම අනුමත කළ නොහැකි බවයි. තමා 2010 වසරේ සිට මහින්ද රාජපක්ෂ මහතා සමග ක්‍රියාකාරී දේශපාලනයට පැමිණි බවත් ඒ නිසා සමාජයෙන් එල්ල වන එම විවේචනය තමාට අදාල නොවන බවත් ඇය පෙන්වා දෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට ප්‍රබල සාධකයක් වූ වියත් මග සංවිධානයේ පළමු සාමාජිකයන් 10 දෙනා අතර තමා සිටින බවත්, ඔවුන් අතර සිටි කලාව නියෝජනය කරන එකම පුද්ගලයා තමා වූ බවත් ඕෂධී හේවාමද්දුම සඳහන් කරනවා. එසේම පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානයේ පළමු සාමාජිකයන් අතරද තමා සිටින බව සඳහන් කරන ඇය පවසන්නේ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තමාට සුදුසුකම් පවතින බවයි.
තමා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු කලාවට වඩා ජනතාවගේ පොදු ප්‍රශ්න පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බවත්, විශේෂයෙන් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කරන බවත් ඇය පවසනවා.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් පළමුවැනියා වීමට බලාපොරොත්තුවක් නොමැති නමුත් අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබන බවත්, බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන 08 න් ආසන 06 ක් පොදුජන පෙරමුණට හිමිවන බවත් ඕෂධී සඳහන් කරනවා.
(LNW)