Friday, May 03, 2024
Follow Us
සන්ධානයට ශ්‍රීලනිප සහ ජවිපෙත් එනවා නම් ලකුණ මාරු කරන්න පුළුවන්. නැත්නම් බෑ - රනිල්

නව සන්ධානය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණත් එකතු වන්නේ නම් අලියා ලකුණ වෙනුවට වෙනත් ලකුණක් යොදා ගැනීම ගැටළුවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

ඊයේ රාත්‍රියේ පැවති රනිල් - සජිත් සාකච්ඡාවට පෙර තම හිතවතුන් පිරිසක් සමඟ මේ මාතෘකාව පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා මෙසේ සඳහන් කර ඇත.

නව සන්ධානය, රාජපක්ෂ විරෝධී පුළුල් දේශපාලන පෙරමුණක් වශයෙන් ශ්‍රීලනිප, ජවිපෙ සමඟත් එක්ව ගොඩ නැඟෙන්නේ නම් අනිවාර්යයෙන්ම වෙනත් ලකුණක් යොදා ගැනීමට සිදුවන බව පෙන්වා දී ඇති ඒ මහතා එසේ නොමැති නම් අලියා ලකුණ වෙනුවට වෙනත් ලකුණක් යොදා ගැනීම තේරුමක් නොමැති බවයි අවධාරණය කර ඇත්තේ.

විශේෂයෙන්ම මෙම සන්ධානය තුළ සිටින්නේත් 2015 වසරේදී එක්සත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් තරග වැදුණු පක්ෂම නම් අලුතින් ලකුණක් අවශ්‍ය වන්නේ කුමකදැයි මේ මහතා විමසා ඇති බව සඳහන්.

නව සන්ධානය සඳහා හදවත ලකුණ යොදා ගැනීමට යෝජනා කර තිබෙන්නේ පාඨලී චම්පික රණවක මහතා විසින් වන අතර එම ලකුණ සම්බන්ධයෙන් ද එක්සත් ජාතික පක්ෂය තුළම යම් සංවාදයක් මතුව තිබේ. මෙම ලකුණ තරුණ පිරිස් අතර යම් ජනප්‍රියතාවක් අත්කර ගත හැකි නමුත් ඡන්ද ලකුණක් වශයෙන් මෙම කොතරම් බැරෑරුම්ද, මෙය කොතෙක් දුරට සමාජය තුළ උපහාසයට ලක්විය හැකිද යන්න පිළිබඳව ද එහිදී ඔවුන්ගේ අවධානයට යොමුව ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

(LNW)