Saturday, May 04, 2024
Follow Us
දැඟලුවට වැඩක් නෑ…නළු නිළියන්ට පොහොට්ටුවේ ඉඩ නෑ…මහ ඡන්දෙට නාමයෝජනා ලබාදීම සුදුසුකම් පරීක්ෂණයක් මත…

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක මැතිවරණ ජයග්‍රහණයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය ප්‍රතිපත්තිමය වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට නියමිත බව අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි.

ඒ අනුව අදාළ ප්‍රතිපත්ති ජනතාවට වඩාත් පිළිගත හැකි හා අනෙකුත් දේශපාලන පක්ෂවලට ආදර්ශයක් වනු පිණිස සකස් කිරීමට අදාළ ක්‍රියාධරයින් කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

විශේෂයෙන් මහ මැතිවරණයට නාමයෝජනා ලබාදීමේදී කිසියම් කරුණක් මත ප්‍රසිද්ධවී සිටීම පමණක් සැලකිල්ලට නොගෙන, අදාළ ඉල්ලුම්කරුවන්ට හෝ ඉල්ලුම්කාරිනියන්ට ඇති සුදුසුකම් සලකා බලා නාමයෝජනා ලබාදීමට පොහොට්ටු පක්ෂයේ අවධානය යොමුව තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් ආදර්ශයන් තවදුරටත් ගරුකරමින් පොලිතීන් භාවිතයෙන් තොර සහ මඩ ප්‍රචාරවලින් තොරව මැතිවරණ ව්‍යාපාරය පැවැත්වීම සඳහා ද අවධානය යොමුව තිබේ.

එසේම කුමන කරුණක් මත වුවද ජනතාව ප්‍රතික්ෂේප කළ අයවලුන්ට සහ සුදුසුකම් සපුරාලිය නොහැකි අයවලුන්ට නාමයෝජනා ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපතිවරයා දැනටමත් උපදෙස් ලබාදී ඇති බවද දැනගන්නට ලැබේ.

ඒ අනුව අදාළ නාම යෝජනා ලබාදීමේ දී සියලු අපේක්ෂකයකුටම සුදුසුකම් පරීක්ෂණයකට යොමුවීමට සිදුවනු ඇති බවද අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

(Lanka Leads)