Saturday, May 04, 2024
Follow Us
වියත් මග කියලා හැමෝටම චාන්ස් දෙන්න බෑ - උදය ගම්මන්පිල

දේශපාලනය යනු වෙනම වෘත්තියක් බවත්, එහිදී වඩා වැදගත් වන්නේ දේශපාලනය පුලුවන්ද යන්න මිස වියත් බව හෝ වෙනත් ක්ෂේත්‍රයක තිබෙන ප්‍රවීණත්වය හෝ නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. කෙසේ වෙතත් සෑම ක්ෂේත්‍රයකම නියැලෙන්නන්ට දේශපාලනයට පැමිණීමේ සහ මැතිවරණවලට තරග කිරීමේ අයිතිය පිළිගන්නා බව ද මන්ත්‍රීවරයා පවසනවා.

වියත් මග සංවිධානයේ සාමාජිකයන් පසුගිය ජනාධිපතිවරණයේදී සැලකිය යුතු සහායක් ලබාදුන් හෙයින් ඔවුන්ටද අවස්ථාව ලබා දිය යුතු බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ. ඒ අනුව ඔවුන්ටද යම් අවස්ථාවක් ලැබෙනු ඇති බව ගම්මන්පිල මහතා පවසනවා.

දේශපාලනඥයන්ට ජනතාවගේ ප්‍රශ්න හඳුනා ගැනීමට හැකියාව තිබිය යුතු බවත් එම ප්‍රශ්නවලට අවශ්‍ය පිළිතුරු හඳුනා ගැනීමට තරම් නිර්මාණශීලී වියයුතු බවත් උදය ගම්මන්පිල මහතා පවසයි. එසේම එම පිළිතුරු ක්‍රියාත්මක කිරීමට තරම් හොඳ කොන්දක් මෙන්ම ඒවා අධීක්ෂණය කිරීමට හොඳ කළමනාකරණ හැකියාවක් තිබිය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙම සුදුසුකම් තිබෙන ඕනෑම පුද්ගලයෙකුට දේශනපාලනයට පැමිණීමට අවස්ථාව ලබාදිය යුතු බවත්, නළුවෙකු, වියතෙකු, ව්‍යාපාරිකයෙකු හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙකු හෝ වුවද දේශපාලනය දැන දේශපාලනඥයෙකු වියයුතු බවත් උදය ගම්මන්පිල මහතා අවධාරණය කරනවා.

(LNW)