Saturday, May 04, 2024
Follow Us
මහ මැතිවරණයට ගම්මන්පිලගෙන් අලුත් වැඩක්…

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තම ‘පුංචි ප්‍රචාරක කාඩ්පත්’ සඳහා ආක්‍රමණික ශාක භාවිතයෙන් සෑදූ ප්‍රථිචක්‍රිත කඩදාසි භාවිත කිරිමට තීරණය කළ බවට පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවසීය.

දේශපාලකයන් කතා කරන තරමටම ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ සංවේදී නම් හෝ පරිසරයට ආදරය කරන්නේනම් තමන් විසින් ක්‍රියාත්මක කරනු ලබන සත්ක්‍රියාවට එක්වන ලෙසට සහෝදර දේශපාලඥයින් වෙත ආරාධනා කරන බවයි.

පිටකෝට්ටේහි පිහිටි පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේදී අද (11දා) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව කී මන්ත්‍රීවරයා ආක්‍රමණික ශාක භාවිතයෙන් කඩදාසි නිෂ්පාදනයේ නිරත මධුර නානායක්කාර මහතාද මෙම මාධ්‍ය හමුවට සම්බන්ධ කරගෙන සිටියේයත

“ජනාධිපතිතුමන් ඔහුගේ ජනාධිපතිවරණයේ දී පෝස්ටර් නැතුව රටම දිනන්න පුළුවන් කියන එක ඔප්පු කරලා පෙන්නුවා. ඒ නිසා අද පොලිතීන් පෝස්ටර් රතිඤ්ඤා නැති මැතිවරණ ව්‍යාපාර සාමාන්‍ය තත්වයක් බවට පත්වෙලා තියෙනවා.

අපි මේක තවත් පියවරක් ඉදිරියට ගෙන යෑම සඳහා මධුර නානායක්කාර මහතා අපේ මාධ්‍ය හමුව සඳහා සහභාගි කරවා ගත්තා. එතුමා කරන්නේ කඩදාසි නිෂ්පාදනය. පොත්පත් ආරාධනා පත්‍ර ආදී කඩදාසි පදනම් කරගත් නිර්මාණ ඔවුන් සිදු කරන්නේ. මේ සඳහා ඔවුන් ආක්‍රමණික ශාක භාවිතා කරනවා. ඩිලේනියා, ජපන් ජබර, සැලිවීනියා, ගිනි ග්‍රාස්, මිෂන් ග්‍රාස්, වෙල් ආතා, වැනි ආක්‍රමණික ශාක අද වනවිට අපට දැවැන්ත ප්‍රශ්නයක් වෙලා. විදේශයකින් අපේ පරිසරයට ඇවිල්ලා අපේ පරිසරය තුළ ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන ශාක විශේෂ තමයි මේ ආක්‍රමණික ශාක.

මේ ශාක සීඝ්‍රයෙන් පැතිර යාම නිසා, අපට ආහාර, ඖෂධ ලබාදෙන ශාකයන් සඳහා ඇති ඉඩකඩ ජලය පොහොර යනාදිය මේ ශාක විසින් අත්පත් කරගෙන තියෙනවා. අපට වැදගත් අපේ ආවේනික ශාක ඒ නිසා වඳ වීමේ තර්ජනයට මුහුණපාලා තියෙනවා.

ඒ නිසා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මගේ පුංචි ප්‍රචාරක කාඩ්පත් සඳහා ප්‍රථිචක්‍රිත කඩදාසි ද භාවිතා කිරීමට මා තීරණය කළා. ඉතින් හැමෝම තමන්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා මේ ආක්‍රමණශීලී ශාක වලින් සෑදුණු මෙවැනි කඩදාසි සිය ප්‍රචාරක කාඩ්පත් සඳහා භාවිතා කළහොත් පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වන විට ලංකාවේ තිබෙන ආක්‍රමණික ශාක ටිකත් ඉවර කරගන්න පුළුවන්.”

9Lanka Leads)