මහමැතිවරණය සඳහා විද්වතුන් ඉදිරිපත් කළ යුතු බවට ඇතැමුන් යෝජනා කළ ද විද්වතුන් වුවත් බිම්මට්ටමේ ජනතාවගේ වුවමනාවන්, අපේක්ෂාවන් නොහඳුනන්නේ නම් ඔවුන් ගැන කතා කිරීම පවා ඵලක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
"නාමයෝජනා ලබාදීමේදී බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් කමිටුවක් දාලා, ජනතාවට ඡන්දය දියහැකි, ඡන්දය දීමට සුදුසු සහ මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් පිරිසක් ජනතාව එක්ක - වියතුන් වගේම බිම හඳුනන පිරිසක් වෙන්නත් ඕනෙ. බිම්මට්ටම හඳුනන්නෙ නැත්නම් එතනින් එහාට ඒ පිළිබඳව අපි කතා කරලා වැඩකුත් නෑ.
ඒ හින්දා බිම හඳුනන වියතුන් පිරිසක් සහ සංකලනයක් - බුද්ධිමතුන්ගේ සංකලනයක් - අපේ පක්ෂයක් විදියට ඉදිරිපත් කරනවා. සන්ධානයක් විදියට ඉදිරිපත් කරනවා. ඉතිං ඒකෙ ඕනෙම පාර්ශ්වයකට ඉන්න පුළුවන්. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) කොළඹදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
කෙසේවෙතත් පසුගියදා කෑගල්ලේදී පැවති වියත්මග සමුළුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත්මග සංවිධානයේ පිරිස් අවධාරණය කර තිබුණේ පාර්ලිමේන්තුවේ වසර 10කට වැඩි කාලයක් ගත කළත් රට ගොඩනැංවීමට නොහැකි වූ පිරිස් අසාර්ථක බව ඔප්පු වී ඇති හෙයින් ඔවුන් වෙනුවට විද්වතුන් පාර්ලිමේන්තු යැවිය යුතු බවකි.
(LNW)