ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ බිහිකරන නව සන්ධානයේ මහලේකම්වරයා වශයෙන් රංජිත් මද්දුම බණ්ඩාර මහතාව පත්කිරීමට එජාපෙ පාර්ලිමේන්තු කණ්ඩායම යෝජනා සම්මත කරගෙන සිටියදී රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පිල (10) දිනයේදී ඊට විරෝධය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට රැස්වීමට නියමිතව ඇති අතර එහිදී රනිල් පිල විසින් නව සන්ධානයෙහි මහලේකම් තනතුර සඳහා එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාව යෝජනා කර සම්මත කරගැනීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
මෙම පියවර පවා අවසන් විසඳුමක් වශයෙන් නොව රංජිත් මද්දුම බණ්ඩාර සහ නවීන් දිසානායක අතර ගැටුමක් ඇතිකර ප්‍රශ්නය දිග් ගැස්සීමේ අරමුණින් යුතුව ඉදිරිපත් කරන යෝජනාවක් බව ද පැවසෙන අතර ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ රනිල් පිල සන්ධානයේ ලේකම් තනතුර සඳහා අවසාන වශයෙන් රාජිත සේනාරත්න මහතාව නම් කිරීමට සැලසුම් කරගෙන සිටින බවයි.
කෙසේවෙතත් ජනාධිපතිවරණයෙන් පසුව යළි උත්සන්න වූ නායකත්ව අර්බුදය හමුවේ අතරමැදි විසඳුමක් වශයෙන් සජිත් ප්‍රේමදාස මහතාට නව සන්ධානයෙහි නායකත්වයත්, මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ සම්පූර්ණ බලයත් ලබාදීමට එකඟ වූයේ ද රනිල් පිල විසින්මය. ඔවුන් ඒ සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල යෝජනාවක් ද සම්මත කරගත්තේ සජිත් පිල සහභාගීත් නොවූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකදීය.
එසේ සන්ධානයෙහි සහ මැතිවරණ ව්‍යාපාරයෙහි නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට සම්පූර්ණයෙන්ම පවරා දුන් පසු නැවතත් රනිල් පිල තනතුරු සම්බන්ධයෙන් ගැටුම් ඇතිකර ගැනීමට තැත් කිරීම යනු අතිශයින්ම පහළ මට්ටමේ ක්‍රියාවකි. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ සති තුනක පමණ ඉතා කෙටි කාලසීමාවක්ව තිබියදීත් දෙපිලම එක්ව මහමැතිවරණයේ ජයග්‍රහණය උදෙසා කැපවනවා වෙනුවට තවත් කාලය නාස්ති වන පරිදි කකුලෙන් ඇදීමට සැරසෙන්නේ නම් එය සේවය කරනු ඇත්තේ ආණ්ඩු පක්ෂයේ ජයග්‍රහණයටය.
එජාප නායකත්ව අර්බුදය හමුවේ සජිත්ට බලය පැවරීම වෙනුවට රනිල් පිලට වෙනත් විසඳුමක් වුවමනා විණි නම් එය ඉදිරිපත් කර සාකච්ඡා කර කවර හෝ අවසානයකට පැමිණීමට ඕනෑ තරම් කල් තිබිණි. නමුත් එවැන්නක් සිදුවූයේ ද නැත. මැතිවරණය ආසන්නයට පැමිණෙද්දී සජිත්ට බලය ලබාදෙන බව පවසා පසුව නැවතත් ඊට බාධා පැමිණවීම යනු අතිශයින්ම ගැටළුකාරී තත්වයක් වන අතර රනිල් පිලට ඇති "ඩීල්" චෝදනා තව තවත් තහවුරු වීමට ද මෙය අනිවාර්යයෙන්ම හේතුවනු ඇති.
(LNW)