Friday, October 18, 2024
Follow Us
කබීර් දැඩි ස්ථාවරයක

ආණ්ඩුව නියෝජනය කළ මුස්ලිම් කැබිනට්,නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරු සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමෙන් පසු එය දඩමීමා කරගෙන තවදුරටත් දේශපාලන අරමුණු ඉටු කරගැනීමට ඇතැමුන් කටයුතු කරමින් හිඳින බව හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

රට ගැන සිතා මුස්ලිම් අමාත්‍යවරු එම ධුරයන්ගෙන් ඉල්ලා අස් වුවද එය බොහෝදෙනා නිවැරදිව වටහා ගෙන නොමැති බවයි කබීර් හෂීම් මහතා පෙන්වා දෙන්නේ

කෙසේවෙතත් අවස්ථාවාදී නින්දිත දේශපාලකයන්ට තමන්ගේ සහයෝගය හිමි නොවන බවයි ඔහු සඳහන් කරන්නේ.

උපුටා ගැනීම

"පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු රට තුළ ඇති වූ අවාසනාවන්ත තත්ත්වය සමනය වෙමින් පැවති මොහොතක 2019.06.03 වන දින උදෑසන සිට රට දැඩි අස්ථාවර මෙන්ම ගැටුම්කාරී මාවතකට ප්‍රවේශ කරවන අයුරු මාහට පෙනී ගියේය. ඒ අනුව ආණ්ඩුව නියෝජනය කළ මා ඇතුළු මුස්ලිම් මැති ඇමතිවරුන් රට ගැන සිතා සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළේ ප්‍රධාන කරුණු 3ක් මුල් කරගනිමිනි.

1. පාස්කු ප්‍රහාරයත් සමග බිඳ වැටෙමින් පැවති ජාතීන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය රජයේ මැදිහත්වීම මත ක්‍රම ක්‍රමයෙන් ගොඩ නැගෙමින් පැවතිණි. එසේම ඉතා කෙටිකලක් තුළ රටෙහි ආරක‍ෂාව තහවුරු කිරීමට ආරක‍ෂක අංශ සමත්විය.

තත්ත්වය මෙසේ තිබියදී හදිසියේම අන්තවාදී සීමිත පිරිසකගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් නැවතත් රට 1983 වසරේ සිදුවූවාක් මෙන් ජාතිවාදී කෝලාහලයක් වෙත තල්ලූවීමේ ලක්ෂණ පහළ කරන්නට විය. මේ තත්ත්වය දිගින් දිගටම වර්ධනය වූයේ නම් අප මාතෘ භූමිය ජාත්‍යන්තරය ඉදිරියේ ද අපකීර්තියට පත්වීමට ඉඩ තිබිණි.

2. සුළුතර පිරිසකගේ එම ක්‍රියාකලාපය හේතුවෙන් සමස්ත මුස්ලිම් ප්‍රජාවගේ දේපළ සහ ජීවිතාරක්ෂාව වෙනුවෙන් පැවති තර්ජනය.

3. පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක‍ෂණවලට මුස්ලිම් දේශපාලනඥයන් බාධා කරන බවට එල්ල වූ චෝදනා

එබැවින් අමාත්‍ය ධුරයෙන් මා ඉල්ලා අස්වූයේ රටේ ආරක‍ෂාව තහවුරු කොට, ආර්ථීක කටයුතු යහපත්ව ඉදිරියට පවත්වාගෙන යෑමේත්, සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේත් පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තවයි.

ඒ මගින් ආගම්වාදී, ජාතිවාදී දේශපාලනයක් ඉස්මතු කොට ඒ හරහා පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමේ චේතනාවක් මා තුළ නොවීය.

නමුත් මුහුණු පොතේ සහ සමහර මාධ්‍යවල පළවූ වාර්තා අනුව මේ අවස්ථාව දඩමීමා කරගනිමින් තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට යමෙක් කටයුතු කරන්නේනම් එය මම දැඩි ලෙස හෙළා දකිමි. එවැනි නින්දිත දේශපාලනයකට කබීර් හෂීම් වන මාගේ කිසිදු එකඟතාවයක් හෝ සහයෝගයක් නැති බව තරයේ ප්‍රකාශ කර සිටිමි. එවැනි පටු අරමුණු පරාජය කිරීම සඳහා ජාතිමාමක බලවේග සමග එකට සිට ගැනීමට සූදානම් බව ද මේ මොහොතේ මම අවධාරණය කරමි.

එසේම ගරුතර මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනයට හිස නමමින් උන්වහන්සේලාගේ උපදෙස් මත ඉදිරියේදීත් කටයුතු කිරීමට බැ`දී සිටින බවද ප්‍රකාශ කර සිටිමි."

උපුටා ගැනීම අවසන්

(LNW)