Saturday, July 12, 2025
Follow Us
”පොහොට්ටුවේ කෙනහිලිකම් වැඩිවෙයි ” : ජනපතිට සහය දෙන්න ශ්‍රීලනිපය තනිවම මහ මැතිවරණයට !

ඉදිරි මහ මැතිවරණයේදී වෙනම තරඟ කර පාර්ලිමේන්තුවට පත්වී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශක්තිමත් කිරීමට සහය දැක්වීම පක්ෂය ආරක්ෂා කර ගැනීමට ගත හැකි වඩාත් ම සුදුසු දේශපාලන ක්‍රියාමාර්ගය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකින් විශාල පිරිසක් එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යෝජනා කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා දිස්ත්‍රීක්කයකින් ශ්‍රීලනිප එක් අයකුට පමණක් ඉදිරි මහ මැතිවරණයේදී ‘නාමයෝජනා ලබාදීමට ‘පොහොට්ටු’ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ තීරණය කර ඇති බවත්, එසේ ‘පොහොට්ටු’ පක්ෂයෙන් තරඟ කිරීමට නාමයෝජනා ලැබුන ද ඒ සියලුදෙනා පරාජය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවත් එම ආසන සංවිධායකයින් මෛත්‍රීපාල සිරිසේනට පැහැදිලි කර දී තිබේ.

මේ අවස්ථාවේදී ශ්‍රීලනිපය වෙනම තරඟ කළහොත් මන්ත්‍රී ආසන 15කට ආසන්න ප්‍රමාණයක් ලබාගනිමින් මීළඟ පාර්ලිමේන්තුවේ තීරණාත්මක බලවේගය බවට පත්වීමේ හැකියාවක් පවතින බවට ද ඔවුන් විසින් හිටපු ජනාධිපතිවරයාට ඒත්තු ගන්වා ඇත.

‘පොහොට්ටුව’ සමග එක්ව තරඟ කළහොත් අනිවාර්යයෙන්ම ශ්‍රීලනිපය විනාශ වී යනු ඇතිබවත් ඒ පාපයට අත නොගසන ලෙසත් ඔවුන් විසින් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ගෙන් දැඩිලෙස ඉල්ලා තිබේ.

(Lanka Leads)