Saturday, July 12, 2025
Follow Us
බදියුර්දීන් දෙගිඩියාවක

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව පිහිටුවන නව සන්ධානය සඳහා හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් තවමත් එකඟතාව පළ කර නැතැයි දේශපාලන ආරංචි පවසනවා.

කෙසේවෙතත්, හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, වෛද්‍ය රාජිත සේනාරත්න, රාවුෆ් හකීම්, මනෝ ගනේෂන් සහ පීි. දිගම්බරම් නියෝජනය කරන පක්ෂ හා කණ්ඩායම් මේ වනවිටත් මෙම නව සන්ධානය සඳහා සහය පළ කර ඇතැයි සඳහන්.

නව සන්ධානයේ නම සහ ඡන්ද ලකුණ පිළිබඳ සාකච්ඡාවක් අද (04) පස්වරුවේ සිදුවනු ඇතැයි ද වාර්තා වනවා. ඡන්ද ලකුණ ලෙස එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ හෝ ජනාධිපතිවරණ 03 කදී එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සන්ධාන විසින් යොදා ගත් හංසයා ලකුණ යොදා නොගැනීමට යෝජනා ඉදිරිපත් වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

මේ අතර මෙම නව සන්ධානයේ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නම් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉකුත් දා තීරණය කළා. එහි මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර නම් කරන බවයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ කියා සිටියේ.

කෙසේවෙතත්, ඊයේ පැවැත්වූ තවත් මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත රංගේබණ්ඩාර පැවසුවේ නව සන්ධානයේ මහ ලේකම්වරයා නම් කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය සහිතව බවයි.

ඉදිරි මහ මැතිවරණයේදී අලියා ලකුණෙන්ම තරග කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වැඩි දෙනෙකු යෝජනා කර ඇතැයි ද මන්තී‍්‍රවරයා පැවසුවා.

(Neth)