Saturday, July 12, 2025
Follow Us
ඩොලර් බිලියන 2.8ක ගිවිසුමකට තනියෙන් යන්න කපිල චන්ද්‍රසේනට බෑ. ඒ ආණ්ඩුවම වගකියන්න ඕනෑ - අජිත්

වංචනික ලෙස සිදුව ඇතැයි හෙළිදරව් වී ඇති එයාර් බස් ගනුදෙනුවට අදාළව ඇමරිකානු ඩොලර් බිලියන 2.80ක් තරම් විශාල ගනුදෙනුවක් සඳහා ගිවිසුම් අත්සන් තැබීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එවකට ප්‍රධාන විධායක නිලධාරියාව සිටි කපිල චන්ද්‍රසේන මහතා ඇතුළු නිලධාරීන්ට පමණක් තනිවම තීරණ ගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පෙන්වා දෙයි.

ඒ අනුව මීට, එවකට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ, ගුවන් සේවා භාර අමාත්‍යවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ විශේෂ අවසරයක් තිබිය යුතු බැවින් වර්තමානයේත් බලය ලබාගෙන සිටින එම කණ්ඩායමම මීට වගකිව යුතු බවයි ඒ මහතා අවධාරණය කළේ.

"දැන් සාමාන්‍යයෙන් හම්බන්තොට වරාය ඉදිකිරීමට ගිය වියදම වගේ තුන් ගුණයක මුදලක් වගේ වටිනාකමක් මේ ගුවන්යානාවල මිල. මං එහෙම කිව්වේ මේකෙ ප්‍රමාණය හිතාගන්න. එහෙම නැත්නම් දකුණු අධිවේගී මාර්ගය ඉදිකිරීමට ගිය වියදම වගේ දෙගුණයක් මේ මිල. එතකොට මේක අතිවිශාල මුදලක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා සහ ඔහුගේ පවුලේ ඥාතීන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන තනතුරු සියල්ලක්ම දරණ කාලේ.

දැන් මේ ගනුදෙනුව පිළිබඳ හැමදාමත් විශාල සැකයක් තිබුණා. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ අපි සාකච්ඡා කළා. එතෙන්දි අපේ මූලික සාකච්ඡාව තිබුණේ මේ ගුවන්යානා මිලදී ගැනීම පිළිබඳ ඇනවුමේ ඉතිරි කොටස අවලංගු කිරීම පිළිබඳව. එතකොට අපට තෝරගන්න තිබුණේ අන්තිම මොහොතේ හරි අවලංගු කරන එක, හැබැයි අවලංගු කරන්නත් අපට විශාල මුදලක් ගෙවන්න සිද්ධ වුණා.

ඒ වෙලාවෙ ප්‍රශ්නයක් වුණා, අපි ප්‍රශ්න කළා මේ නිලධාරීන්ගෙන් කවුද මෙවැනි අමනෝඥ ගිවිසුමකට එළඹුනේ ? අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අවශ්‍යතාවන්ට නොගැලපෙන අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ රටේ ආර්ථික හැකියාවන්ට නොගැලපෙන මේ වගේ දැවැන්ත ඇනවුමක් කරන්න පාදක වෙච්ච කරුණු මොනවද ? ඇත්ත වශයෙන්ම ඒ වෙලාවෙ අපට සාක්ෂි තිබුණෙ නෑ කුමක්ද සිදුවුණේ කියන්න.

ඇත්තටම මෙවැනි ඩොලර් බිලියන 2.80ක් තරම් අතිවිශාල ගිවිසුමකට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන්ට තනියෙන් එළඹෙන්න පුළුවන්කමක් නෑ. මෙවැනි ගිවිසුමකට එළඹීම සඳහා රාජ්‍ය තන්ත්‍රය, ජනාධිපතිවරයාගේ, අමාත්‍ය මණ්ඩලයේ, විශේෂයෙන්ම මුදල් ඇමතිවරයාගේ, ගුවන් සේවා භාර ඇමතිවරයාගේ විශේෂ අවසරයක් තිබෙන්න ඕනේ. ඒ නිසා වර්තමානයේ බලය දරණ මහින්ද රාජපක්ෂ මැතිතුමාත් එතුමාගේ කණ්ඩායමත් තමයි මේ ප්‍රශ්නෙටත් වගකිව යුතු කණ්ඩායම.

ඒ නිසා මේ පිළිබඳ අපේ රටේ අධිකරණය තුළ අපේ රටේ පොලිසිය මඟින් විමර්ශනයක් කළ යුතුමයි" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

අජිත් පී. පෙරේරා මහතා මේ බව සඳහන් කළේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(Lanka Leads)