ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු ඇමරිකාව බලා පිටත්ව ගිය, පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා. ඔහු මාස දෙකකට අධික කාලයක් ඇමරිකාවේ රැඳී සිටියේය.
මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ගොඩනැගීමට නියමිත සන්ධානයේ ඉදිරි වැඩකටයුතු සඳහා මෙන්ම මහ මැතිවරණයේ සංවිධාන කටයුතු සඳහා ඔහු මෙසේ දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකිරීමේ සිට එය මෙරට ප්‍රධානතම දේශපාලන බලවේගය දක්වා රැගෙන ගොස් පළාත් පාලන මැතිවරණය සහ ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් කෙළවර කර ගැනීමේ සටනේ මහ මොළකරු ලෙස සැලකෙන්නේ බැසිල් රාජපක්ෂ මහතායි.
පොදුජන පෙරමුණ ඇතුළු බලවේගය තුනෙන් දෙකක බහුතරයක් දිනා ගැනීමේ අපේක්ෂාවෙන් ඉදිරි මහ මැතිවරණයට මුහුණදීම සඳහා සූදානම් වන අතර එහි ප්‍රමුඛතම කාර්යභාරය පැවරී තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහතාටය. ඒ සඳහා ඔහු දියත් කරන සැළසුම්, ඉදිරි සති කිහිපය තුළදී බලා ගැනීමට හැකිවනු ඇත.
(LNW)