Saturday, July 12, 2025
Follow Us
රනිල්ගේ වාර්තාව රනිල්ම කඩා ගනීද ?

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන මහමැතිවරණයේදී ද කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට තීරණය කර තිබේ.

මෙවර මහමැතිවරණය සඳහා තරග නොකර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වන ලෙස ඒ මහතාගේ හිතවතුන් දැඩි ලෙස ඉල්ලීම් කරද්දීත් ඒවා නොසලකා හරිමින් ඔහු මෙම තීරණයට එළඹ ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයෙහි වැඩිම මනාප සංඛ්‍යාවේ වාර්තාව උසුලන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. ඒ, 2015 මහමැතිවරණයේදී මනාප 500,566ක් ලබා ගනිමිනි. එහෙත් 2020 වනවිට පක්ෂය තුළ උද්ගතව ඇති තත්වය අනුව ඒ මහතාගේ ජනප්‍රියත්වය අතිශයින් පහළ බැස ඇති බව රහසක් නොවේ. ඒ අනුව මෙවර රනිල් වික්‍රමසිංහ මහතාට සිය මනාප වාර්තාවේ අහළකටවත් පැමිණීමට නොහැකි, සාපේක්ෂව ඉතාම අඩු මනාප ප්‍රමාණයක් ලැබීමට වැඩි සම්භාවිතාවක් පවතී.

එහෙයින් තමන්ගේ මනාප වාර්තාවත් රැකගෙන මෙවර මහමැතිවරණයට තරග නොකර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණෙන ලෙස ඒ මහතාගේ හිතවත් මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ශ්ව ගණනාවක් ඉල්ලීම් කර ඇතත් සිය සුපුරුදු දඩබ්බර ප්‍රතිපත්තිය අනුව ඒ කිසිවක් නොඅසා යළිත් කොළඹින් තරග වැදීමේ තනි තීන්දුවකට ඒ මහතා එළඹ ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේය.

ඒ අනුව කෙටිම කලක් තුළ වැඩියෙන්ම ජනප්‍රියත්වය අහිමි කරගත් මන්ත්‍රීවරයා ලෙස අලුතින්ම වාර්තාවක් පිහිටූවීමේ අවස්ථාවක් ද රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිර්මාණය කරගෙන සිටින බව පෙනේ.

(LNW)