Sunday, September 08, 2024
Follow Us
මුස්ලිම් ඇමතිධූර පුරප්පාඩු වී සතියයි

ආණ්ඩුව නියෝජනය කළ මුස්ලිම් අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත් වී අදට (10) සතියක් සම්පූර්ණ වනවා. එහෙත් මේ දක්වා එම පුරප්පාඩු සඳහා කිසිදු අමාත්‍යවරයෙකු පත් කර නැහැ.

මෙලෙස පුරප්පාඩු වී ඇති ධුර අතරට ප‍්‍රධාන අමාත්‍ය ධුර 4 ක් අයත්. ඒ, නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරය, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන, මහා මහාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ධූරය, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු යන අමාත්‍යාංශයි.

මෙම අමාත්‍ය ධුර 4 ට අමතරව තවත් රාජ්‍ය අමාත්‍යවරුන් 4 ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනයද මේ වනවිට ප‍්‍රකාශයට පත් කර අවසන්.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳ නෙත් නිවුස් ආණ්ඩු පක්‍ෂයෙන් විමසීමක් කළා. රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම සඳහන් කළේ අමාත්‍ය ධුර අත්හළ මුස්ලිම් මන්තී‍්‍රවරුන් යළි ආණ්ඩුව හා සම්බන්ධවේ යැයි විශ්වාසයෙන් පසුවන බවයි. යළි ධූර භාරගන්නා ලෙස මහානායක හිමිවරුන්ද ඉල්ලීමක් කර ඇති බව මෙහිදී සිහිපත් කෙරුණා.

ඒ අනුව මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීමද සැලකිල්ලට ගනිමින් ඔවුන් යළි අමාත්‍ය ධුර භාරගනු ඇතැයි විශ්වාසයෙන් පසුවන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ඒ සඳහා ඔවුන්ට කාලය ලබාදී ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ.

අමාත්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් ප‍්‍රධාන අමාත්‍යාංශවල සහ ඊට සම්බන්ධ ආයතනවල කටයුතුවලට බලපෑමක් එල්ල නොවන්නේ දැයි නෙත් නිවුස් මෙහිදී රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුමගෙන් විමසීමක් කළා. එහිදි ඔහු කියාසිටියේ අමාත්‍යාංශවල කටයුතු ඒවායේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් විසින් සිදුකරන බවයි. ඔවුන් යළි අමාත්‍ය ධූර භාර නොගන්නේ නම් ඉදිරියේදී ඒ සඳහා සුදුසු පුද්ගලයින් පත් කිරීමට ආණ්ඩුවට සිදුවන බවද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

(Neth)