Saturday, July 12, 2025
Follow Us
කෘත්‍යාධිකාරියේ යෝජනා අනුව සජිත්ගේ නායකත්වයට මූලික අඩිතාලම සකස් වී අවසන් - කබීර්

ඊයේ (30) රැස්වුණු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සම්මත වූ යෝජනාවන් අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයට අවශ්‍ය මූලික අත්තිවාරම සකස් වී අවසන් බව එම පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා පවසයි.

"මේ රටේ පොදුජනයා ඉල්ලන වැඩපිළිවෙලකට යන්න, අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ඉදිරියට යන්න තමයි මේ ප්‍රශ්නය විසඳන්න බලන්නේ. එතනදි එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ සහයෝගය ලබාදෙන්න. එතකොට ඒ සන්ධානයේ නායකයා සජිත් ප්‍රේමදාස හැටියට පත් කරන්න කියලා අපි ඉල්ලීමක් කළා, ඒක අද කෘත්‍යාධිකාරී මණ්ඩලයෙදි අනුමත වුණා.

ඒ වගේම එතුමාට ඒ සන්ධානයේ මහලේකම්වරයාව පත් කරන්නට කියලා ඒ අනුමැතිය ලැබුණා. ඒ වගේම නාමයෝජනා මණ්ඩලයේ සභාපතිවරයා හැටියට එතුමා පත් කරන්න කියලා අපි ඉල්ලීමක් කළා, ඒකත් සම්මත වෙලා තියෙනවා පණිවිඩේ ලැබුණා. මං හිතන්නෙ මේක පළවෙනි අත්තිවාරම හදලා ඉවරයි කියලා මං විශ්වාස කරනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

කබීර් හෂීම් මහතා මේ බව පැවසුවේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී නොවූ සාමාජිකයින් විපක්ෂ නායක කාර්යාලයට රැස්ව සිටි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වී සිටි මලික් සමරවික්‍රම මහතා ද එහි පැමිණ සිටිනු දැකගත හැකි විය.

(LNW)