Thursday, July 10, 2025
Follow Us
නඩු නැවැත්වීමට ජනාධිපති කොමිසම මැදිහත් වීම නීති විරෝධියි. අපි උසාවි යනවා - සුමන්දිරන්

කප්පම් ගැනීම සඳහා තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට සහ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දසනායක මහතාට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුවේ විභාගය අත්හිටුවන ලෙස දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම විසින් නීතිපතිවරයාට නියෝග කිරීම යනු ඉතාම බරපතළ දේශපාලන මැදිහත් වීමක් බවත් මීට එරෙහිව අධිකරණය හමුවට යාමට තමන් බලාපොරොත්තු වන බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.

"ජනාධිපති කොමිසම ඊයේ නීතිපතිවරයා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරලා තිබුණා. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක දසනායක යන අය මේ නඩුවෙන් නිදහස් කරන්නැයි නිර්දේශ කර ලිපියක් නීතිපතිවරයාට යොමු කරලා තිබුණා. මේක ඉතාම බරපතළ දේශපාලන මැදිහත් වීමක්.

නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන ආයතනයක්. නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුවක් ජනාධිපති කොමිසම හරහා වැළැක්වීමේ උත්සාහයක් තමයි මේ දියත් කරලා තියෙන්නෙ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ අනෙකුත් රටවලට හුවා දැක්වීමේ අරමුණෙන් හුදෙක් නාටකයක් වගේ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුව පමණක් රජය විසින් ගොනු කරලා තියෙනවා. නීතිපතිවරයාත් ඊට මැදිහත් වුණා. අනෙකුත් කරුණු ගැන ක්‍රියාත්මක නොවුණත් එක් කරුණක් ගැන හරි ක්‍රියාත්මක වීම ගැන අපි අවධානයෙන් සිටියා. දැන්, බලයට පත්වෙලා ඉන්න රජය ඒ නඩුවත් නවත්තන්න ඉතාම බරපතළ ක්‍රියාමාර්ගයක් අරගෙන.

කොමිසමක් භාවිත කරලා මෙවැනි කටයුතු කිරීම නීති විරෝධියි. මීට එරෙහිව අපි අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

එම්. ඒ. සුමන්දිරන් මහතා මේ බව පැවසුවේ ඊයේ (28) යාපනයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)