Wednesday, July 09, 2025
Follow Us
මම ආයෙත් පාර්ලිමේන්තු යනවා

තමා පසුගිය පාර්ලිමේන්තුවේ සිටියත් පෙර පාසල් අයත් වන්නේ මොන අමාත්‍යාංශයටදැයි සොයා ගැනීමට නොහැකි වූ බවත් ඉදිරියේදී පාර්ලිමේන්තුවට පත්වී පෙර පාසල් විෂය පිළිබඳව සොයා බලා රජයේ පාසල් මෙන් වැඩපිළිවෙළක් සකස් කරන බවත් බෙන්තර ඇල්පිටිය පොදුජන පෙරමුණේ සංවිධායිකා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ පවසන්නීය.

ඇය මෙසේ පැවැසුවේ ගාල්ල උළුවිටිකේ පැවැති ‘ශාඛ්‍යා ජනසරණ පදනම’ මගින් ගාල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසල් සිසුන්ට සිඟිති වැඩ පොත් බෙදාදීමෙන් අනතුරුව පෙරේදා (26 වැනිදා) පැවැති උත්සවයේදීය. තවදුරටත් කතා කළ ගීතා කුමාරසිංහ මෙසේද පැවැසුවාය.

‘‘අද පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් මන්ත්‍රීවරු කියන කතා ඇහුවම මොන්ටිසෝරි අධ්‍යාපනයක් මුල සිටම දෙන්න ඕනෑ කියලා මට හිතෙනවා. මොන්ටිසෝරි ගුරු වෘත්තිය කියන්නේ වගකිව යුතු රැකියාවක්. දරුවාගේ නිරෝගීකමත්, පෝෂණයත් ගැන සලකා බලන්න ඕන. ඇතැම් අය කියනවා දැන් පෝෂණ මල්ලත් නැහැ කියලා. ඒවා බොරු. පෝෂණයෙන් යුත් ආහාර මල්ලක් ලබාදීමට අපි කටයුතු කර තිබෙනවා. දරුවන් ලක්ෂ තුනක් පමණ උපදින විට සිය ගාණක් තමයි මිය යන්නේ. පෝෂණ ඌනතාව ඇති දරුවන් පිළිබඳව අපි දැඩිව සොයා බැලිය යුතුයි.

මොන්ටිසෝරි ගුරුවරියන් උත්තමාවියන්. රජයේ පාසල්වල ගුරුවරුන්ට වැටුපක්, ඒ වගේම විශ්‍රාම වැටුපක් ලැබෙනවා. ඇමෙරිකාවේ නම් මොන්ටිසෝරි ගුරුවරියකට විශාල වැටුපක් ලබාදෙනවා. අපේ රටේ එහෙම තත්ත්වයක් නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අපේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කරනවා. හරි තැනට හරි තීරණයක් ගත හැකි දරුවන් සකස් කළ යුතුයි. මොන්ටිසෝරි ගුරවරියන්ගේ ප්‍රශ්න විසඳිය හැකි අමාත්‍යාංශයක් නැති එක පිළිබඳව කාන්තාවක් වශයෙන් මා කනගාටු වෙනවා.’’

(Aruna)