ජනතාවට එකක් කියමින් වෙනත් රහස් ගිවිසුම් හරහා තමන් රැකෙන, දෙබිඩි, ඩීල් දේශපාලනය එක්සත් ජාතික පක්ෂයට ඔරොත්තු නොදෙන බැවින් අලුතින් සිතමින් අලුත් ගමනක් ආරම්භ කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
"දේශපාලන ඩීල් දමාගෙන, වෙනත් අබිරහස් ගිවිසුම් හරහා තමන් රැකගෙන, ඒ දෙබිඩි දේශපාලනය පක්ෂයට ඔරොත්තු දෙන්නෙත් නෑ, පෙරමුණට ඔරොත්තු දෙන්නෙත් නෑ, රටට ඔරොත්තු දෙන්නෙත් නෑ. ඉදිරියට යන්නට නම් පැහැදිලිවම අපි වෙනස් වෙන්නට ඕනෑ. යල් පැනගිය ක්‍රමවේද හරියන්නෙ නෑ. විශේෂයෙන්ම පක්ෂයක් හැටියට අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය අපි තහවුරු කරන්නට ඕනෙ.
හොඳට මතක තියාගන්න, අපි කිසි දවසක කැඩෙන්නෙ නෑ, බෙදෙන්නෙ නෑ. අපේ එකමුතුව අපේ ප්‍රතිවාදීන් එක්ක ඩීල් ගහලා ඇති කරගන්න එකමුතුවක් වෙන්නෙ නෑ. අනිවාර්යයෙන්ම තමුන්නාන්සෙලා සියලුදෙනා මෙතනින් පිටවෙලා යනකොට හිත හදාගන්න අලුත් ගමනක් තුළින් මෙවර මහමැතිවරණය අපි දිනනවා දිනනවාමයි. අපි එතෙන්ට යනවා.
සදාකාලිකව මේ පක්ෂය කිසිම පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට සින්නක්කර ඔප්පුවෙන් ලියලා දීලා නැතෙයි කියන එක මං මේ අවස්ථාවේදී කියන්න කැමතියි. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව බලාගෙන ඉන්නවා මේ රටේ අලුත් විකල්පයක් මහමැතිවරණයේදී බිහි වෙනකල්. ඒ අලුත් විකල්පය දෙන්නට අපි ලෑස්තියි. ඒ නව ගමන දෙන්නට අපි ලෑස්තියි. මේ අලුත් ගමන යන්නට අපි සියලු දෙනාම ශක්තිමත් වෙමුයි කියලා මේ අවස්ථාවේදී මම යෝජනා කරනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (26) කොළඹදී පැවති එක්සත් ජාතික පෙරමුණේ පළාත් පාලන නියෝජිත හමුව අමතමිනි. අති විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති එම හමුවට එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂ නායකයින් ද එක්ව සිටියහ.
(LNW)