තම පාක්ෂිකයින් ඡන්ද පොළට නොඑනා බව දන්නා එක්සත් ජාතික පක්ෂයේ නායකයින් ඊට පිළියමක් වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ගැටුමක් ඇතැයි අසත්‍ය ප්‍රචාරණයක් ගෙන යමින් සිටින බවත් එවන් ක්‍රමවලින් මහින්ද - ගෝඨාභය දෙදෙනා බෙදා කිරීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
"දැන් කියනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හොඳයි, මහින්ද රාජපක්ෂ මහත්තයා හොඳ නෑලු. එහෙමනෙ කියන්නෙ දැන් ? ජනාධිපතිවරණය වෙලාවෙ කොහොමද කිව්වෙ ? ගෝඨාභය නම් හොඳ නෑ මහින්ද නම් හොඳයි. එහෙමනෙ කිව්වෙ ? එදා ගෝඨාභය මහත්තයාට ඇමරිකානු පාස්පෝට් එකක් තියන්වා කියපු සජිත් ප්‍රේමදාස අද ඒක ගැන කතා කරන්නෙ නෑනෙ. එයත් එක්ක වැඩ කරන්න ලෑස්තියිලු. එක්සත් ජාතික පක්ෂ නායකයො දන්නවා ඊළඟ මැතිවරණයේදි එජාප පාක්ෂිකයෙක් ඡන්ද පොළට ගෙනියන්න බෑ. මේක තමයි ඇත්ත කතාව.
ගෝඨාභය රාජපක්ෂ ඊළඟ අවුරුදු හතර හමාරට ජනාධිපති නම් ඒ හදන ආණ්ඩුවෙත් අගමැති වෙන්නෙ මහින්ද රාජපක්ෂය කියන එක මේ රටේ ජනතාව සනාථ කරලා ඉවරයි. එහෙම නම් එජාප නායකයින්ට එජාප පාක්ෂිකයින්ට කියන්න තියෙන්නෙ එක කතාවයි. මොකද්ද, ගෝඨාභයයි මහින්දයි තරහයි. එහෙම කිව්වොත් තමයි ඒ මනුස්සයා ඡන්දෙ දාන්න යන්නෙ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් මහින්ද රාජපක්ෂ මැතිතුමාත් බෙදලා වෙන් කරන එක නම් එජාපයට එච්චර ලේසි වෙන්නෙ නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර නැගෙනහිර ආසන බලමණ්ඩ රැස්වීම අමතමිනි.
(LNW)