Wednesday, July 09, 2025
Follow Us
19 අහෝසි කරන්නම ඕනෑ. ඒක සම්මත නොවුණා නම් අදත් ජනපති මමයි - මෛත්‍රී

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොවුණේ නම් අදටත් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ තමන් බවත් එසේ නම් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ එළඹෙන නොවැම්බර් මාසයේදී බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

"ජනාධිපතිවරයාට තිබුණු අසීමිත බලතල මං පාර්ලිමේන්තුවට දුන්නා, ස්වාධීන කොමිෂන් සභාවලට දුන්නා, අගමැතිවරයාට දුන්නා. ජනාධිපතිවරයාගේ නිල කාලය අවුරුදු හයයි. මමයි කිව්වෙ මගෙන් අවුරුද්දක් අඩු කරන්න කියලා. අවුරුද්දක් මං අඩු කෙරුවේ නැත්නම් අදත් ජනාධිපති මමයි. මට අවුරුදු හයක් කරන්න තිබුණා. එහෙම නම් මේ අවුරුද්දෙ නොවැම්බර් මාසෙයි ඡන්දෙ තියන්න ඕනෙ.

නමුත් 19 වෙනි සංශෝධනය පාස් කරන්න මම තමයි විශාල වෙහෙසක් ගත්තෙ. අද ඒකෙ අඩුපාඩු ගැන විවේචන, නොයෙකුත් කාරණා තියෙනවා. 19 වෙනි සංශෝධනයට මමත් අද විරුද්ධයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවුල් රාශියක් 19 වෙනි සංශෝධනය නිසා තියෙනවා. ඒ නිසා රට ඉස්සරහට යන්න නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යමයි. ඒක කරන්න පාර්ලිමේන්තුවේ අති බහුතරයක් නැතිව බැහැ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (24) කදුරුවෙල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

(LNW)