Sunday, September 08, 2024
Follow Us
රතන හිමිගේ ජීවිත අවදානම ගැනද හිතල අපි ඉල්ලා අස් වුණා – මුස්ලිම් මන්ත්‍රීවරු මහින්දට කියති

පසුගිය පාස්කු ඉරිදා දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට තුළ ඇති වී තිබෙන අවුල් සහගත තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ආණ්ඩුවේ ඇමති තනතුරු වලින් පසුගිය සතියේ ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, රිසාඩ් බදුයුදීන්, ඒ.එච්.එම් ෆවුසි ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් අද (08) විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී හමුවූහ.

එසේ තනතුරු වලින් ඉවත් වීමට හේතු සාධක ඔවුන් ඉදිරිපත් කළද එවැනි ක්‍රියාවක් කිරීම සුදුසු නොවන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

එම ක්‍රියාව තුළින් මුස්ලිම් නොවන සමාජයේ ආගමික නායකයින් සහ ජනතාව තුළ වැරදි අවබෝධයක් ඇති වීමට ඉඩ ඇති බවද ඒ මහතා පවසා ඇත.

මොනම අවස්ථාවකදීවත් ජාතිවාදය රටතුළ ඇවිලවීමට කිසිවෙකුටත් නොදිය යුතු බවද එතුමා අවධාරණය කළේය.

විවිධ පක්‍ෂ නියෝජනය කරන මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම තීන්දුව ගැනීමට මූලික හේතුව වූයේ මුස්ලිම් ප්‍රජාවගෙන් ලැබුණු ප්‍රතිචාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ජීවිත අවදානම ගැනද සලකා බැලීමෙන් පසුව බව මුස්ලිම් මන්ත්‍රීවරු එම අවස්ථාවේදි ප්‍රකාශ කර ඇත.

මුස්ලිම් දේශපාලනඥයින් හා මුස්ලිම් ජනතාව කිසි දිනක ත්‍රස්තවාදයට සහයෝගය දක්වා නැති බවත් ඒසේ නොකළ නිසා වසර 30ක යුද්ධයේදී මුස්ලිම් ජනතාව විශාල ප්‍රමාණයක් සමූල ඝාතනයට ලක් වූ බවත් මෙහිදී ඔවුන් විපක්‍ෂ නායකවරයාට පැවසූහ.

මෙම අවස්ථාවේදී විපක්‍ෂ නායකවරයා තවදුරටත් ප්‍රකාශ කළේ මුස්ලිම් ජනතාව ප්‍රථමයෙන් මුස්ලිම් දේශපාලනඥයින් පිළිබඳව විශ්වාසය ඇති කරගත යුතු බවයි.

ඉන් පසු අනෙකුත් ජාති ආගම් නියෝජනය කරන ජනතාව මුස්ලිම් නායකයින් විශ්වාස කිරීමට පටන් එළඹෙන බවද එසේ වුවහොත් වර්ථමානයේ ඇති වී තිබෙන අනවබෝධකාරී තත්වය සමතයකට පත්කර ගත හැකි බවද විපක්‍ෂ නායකකවරයා අවධාරණය කළේය.

තවද, මෙම මුස්ලිම් මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසීම සම්බන්ධයෙන් විපක්‍ෂ නායකවරයාගේ ප්‍රසාදයද පළවිය.

(Lanka Leads)