මහින්දානන්ද අළුත්ගමගේ ඇමතිවරයාට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය පිළිබඳව යළි සලකා බලන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී එම වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට එල්ල වූ චෝදනා මත පසුගිය රජය සමයේදී මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.
ආන්දෝලනාත්මක හඬපට සිදුවීම හරහා අධිකරණයට සහ විනිසුරුවරුන්ට බලපෑම් එල්ල වී ඇති බවට හෙළිවන හෙයන් මෙම නඩුවට අදාලව කැඳවූ සාක්ෂි නැවත සලකා බැලීම සිදුකළ යුතු බවයි නීතිඥයන්ගේ අදහස වී තිබෙන්නේ. මෙතෙක් නිකුත් වී ඇතැ හඬපට තුළ මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ නම අවස්ථා කිහිපයකදී සඳහන් වන බැවින් මෙම නඩුවට අදාලව ද යම් බලපෑමක් එල්ල වී ඇති බවට සැක කළහැකි බවත්, ඒ නිසා සාක්ෂි නැවත සලකා බලන ලෙස ඉල්ලා සිටින බවත් නීතිඥයන් මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම නඩුව ලබන 10 වැනිදා දක්වා කල් තැබීමට මහාධිකරණය අද තීරණය කළේය.
(LNW)