Tuesday, July 08, 2025
Follow Us
'පොහොට්ටුව' වෙනස් නොකළ යුතු හේතු කියයි

ඉදිරි මහමැතිවරණයේදී ඇති කරගන්නා සන්ධනායකට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද එක් කර ගැනීමට විරෝධයක් නැතත්, පොහොට්ටුව ලකුණ අතහැරීමට එකඟ විය නොහැකි බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයින් කිහිපදෙනෙකු පවසනවා.

ඔවුන් මේ බව පැවසුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඉකුත් දා කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින්.

වඩා යහපත් ප‍්‍රතිඵලයක් උදෙසා ඉදිරි මහමැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව කටයුතු කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප‍්‍රකාශ කළේ. එහෙත්, පොහොට්ටුව ලකුණ ඒ සඳහා යොදා ගැනීම මතභේදාත්මක විය හැකි බව ද ඔහු පැවසුවා.

ඊට ප‍්‍රතිචාර දැක්වූ රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ "මතවාද සාකච්ඡාවට අපේ පක්ෂය තුළ ඉඩ තියෙනවා. 2018 චොර වෙනවයි කිව්ව පොහොට්ටුව ලංකාවේ දේශපාලන වංශ කතාව වෙනස් කළා. ඒ නිසා අපි හිතනවා ඔවුන් අපි සමග සිට ගනීවි කියලා." යනුවෙනි.

පෙහොට්ටුව පිළිගන්නා බවට මේ රටේ ලක්ෂ 70කට ආසන්න ජනතාව සහතිකයක් ලබා දී ඇති බවද සඳහන් කළා.

අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග ද පැවසුවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානයට මහමැතිවරණයේදී තරග කිරීමට සුදුසුම ලකුණ පොහොට්ටුව බවයි.

සිය මුල් ඡන්ද ලකුණ අතහැරි දේශපාලන පක්ෂ ක‍්‍රමයෙන් අභාවයට ගිය බව ද මෙහිදී සිහිපත් කෙරුණා.

අත ලකුණ අතහැරි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අලියා ලකුණ අතහැරි එක්සත් ජාතික පක්ෂය ඊට හොඳම උදාහරණ බවයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

(Neth)