Tuesday, July 08, 2025
Follow Us
පොදුජන පෙරමුණට පොහොට්ටුවත් නැතිවෙන්න පුළුවන්. ඒක එයාලගෙ ප්‍රශ්නයක් - දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගොඩනඟන නව සන්ධානය සඳහා පුටුව ලකුණ වෙනුවට පොහොට්ටුව ලකුණ යොදාගැනීමට තීරණය කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඔවුන්ගේ පොහොට්ටුව ලකුණ අහිමි විය හැකි බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙයි.

"එළඹෙන මහමැතිවරණයෙදි අපි බොහොම පැහැදිලිව එක සන්ධානයක් තුළ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අනෙකුත් පක්ෂත් එකතු කරගෙන. එය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය හැටියට අපි නම්කරලා තිබෙනවා. ඔබ දන්නවා මං හිතන්නෙ එහි අලුත් විධායක සභාව අපි ස්ථාපිත කළා.

පොදුජන එක්සත් පෙරමුණ - 1994 අපි හදපු පොදුජන එක්සත් පෙරමුණ - එය තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය කියන නමින් නම්කරලා ඉදිරියට ගෙනියන්න. ඉතිං එතකොට එහි ලාංඡනය වෙන්නෙ පුටුව. ඉතිං ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉල්ලීමක් තියෙනවා නම් පුටුව ලකුණ වෙනුවට පොහොට්ටුව ලකුණ ගේන්න කියලා, පොහොට්ටුව ගෙනාපුවාම පොදුජන පෙරමුණට පොහොට්ටුවක් නැතුව යනවා.

ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි එතුමන්ලා තීරණය කරන්න ඕනෙ කාරණයක්. අපිට ඒ ගැන ගැටළුවක් නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (14) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)