එක්සත් ජාතික පක්ෂයෙහි නායකත්ව අර්බුදය මේ වනවිට එහි උච්ඡතම අවධියකට පැමිණ ඇති අතර මේ සතිය තුළ එහි අවසන් තීරණයකට එළඹීමට හැකිවනු ඇතැයි සියල්ලෝම බලාපොරොත්තුවෙන් සිටිති.
එහෙත් අප වෙත වාර්තා වන අන්දමට නම් රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වය අත්හැරීමේ කිසිදු වුවමනාවක් මෙතෙක් පහළ වී නොමැත. තමන් වසර 26ක් තිස්සේ ආරක්ෂා කරගත් පක්ෂය, සජිත් ප්‍රේමදාස මහතා වටා සිටින දේශපාලනිකව පරිණතභාවයක් නොමැති පිරිස වෙත භාරදී විශ්‍රාම ගැනීමට තමන්ට මේ මොහොතේ නොහැකිය යන්න ඒ මහතාගේ ස්ථාවරය වී තිබේ.
ඒ අනුව එජාපයෙහි දෙවැනි පෙළ නායකත්වය ස්ථාවර වනතුරු තමන්, කරූ ජයසූරිය මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා එක්ව නායකත්ව මණ්ඩලයක් ලෙස පක්ෂය පාලනය කළ යුතුය යන්න ඒ මහතාගේ යෝජනාවයි.
මේ අතර එජාප නායකත්වය තමන්ගේ අත ළඟටම පැමිණ ඇති මොහොතේ පක්ෂය හැරදමා යාමට සජිත් ප්‍රේමදාස මහතාට ද කිසිදු වුවමනාවක් නොමැති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
සජිත් පිලේ මන්ත්‍රීවරුන්ගේ බලකිරීම මත නව දේශපාලන පෙරමුණක් පිහිටුවීම සඳහා එකඟ වුව ද පක්ෂය දෙකඩ කරමින්, පක්ෂය අතැර ගිය පුද්ගලයකුය යන හංවඩුව ගසා ගැනීම තමන්ට බරපතළ අවාසියක් බව සජිත් ප්‍රේමදාස මහතා දනී.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකෙරෙන අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ අයුරින් එජාප සාමාජිකත්වය ද අත් නොහැර, නව දේශපාලන පෙරමුණෙහි නිල නොවන නායකයා ලෙස ද පෙනී සිටීමට සජිත් ප්‍රේමදාස මහතා සූදානමින් සිටින බව ආරංචිමාර්ග සඳහන් කළේය.
කෙසේවෙතත් ඉදිරි දින තුන අතිශයින්ම තීරණාත්මක වන අතර එම කාලසීමාව තුළ තත්වයන් බොහෝ සෙයින් වෙනස් වීමේ හැකියාවක් ද පවතී.
(LNW)