Tuesday, July 08, 2025
Follow Us
ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට බැසිල් සැරසේ !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ද සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

ජනාධිපතිවරණය අවසන්ව නව රජය පිහිටුවීමෙන් ඉතා කෙටිකලක් තුළ, එනම් පසුගිය දෙසැම්බර් මුල් සතියේදීම ඒ මහතා ඇමරිකාව බලා පිටවගොස් ඇත්තේ ද ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමේ මූලික කටයුතු සම්පූර්ණ කරගැනීම සඳහා බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව, පසුගිය වසර 5 තුළ තිරයෙන් පිටුපස හිඳිමින් රජුන් තනන්නාගේ භූමිකාව ඉටුකළ ඒ මහතා යළි කරළියට පිවිසීමට නියමිතව ඇත.

බැසිල් රාජපක්ෂ යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා මෙන්ම වසර තුනක් වැනි ඉතා කෙටි කලක් තුළ එම පක්ෂය ජනාධිපතිවරණ ජයග්‍රහණයක් දක්වා මෙහෙයවූ අති දක්ෂ සංවිධායකවරයා ද වෙයි. නවීන තාක්ෂණය ද මුසු කරගනිමින් ගම්මට්ටමේ, බිම්මට්ටමේ පහළම ස්ථරය දක්වා විහිදුණු ශ්‍රී ලංකාවේ දැවැන්තම පක්ෂ සංවිධාන ව්‍යුහය ගොඩනංවන ලද්දේ ඔහු විසිනි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ ජනාධිපතිවරයා වීමට නුසුදුසු ලෙස නම්කර ඇති නිසා බැසිල් රාජපක්ෂ මහතාට ද සිය ඉදිරි දේශපාලන ගමන වෙනුවෙන් ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට සිදුව තිබේ.

(LNW)