Tuesday, July 08, 2025
Follow Us
කරුට එරෙහිව එජාප අභ්‍යන්තරයේ කැරැල්ලක්!

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ මේ වන විට පක්ෂ අභ්‍යන්තරය දැඩි කැළඹීමකට පත්ව ඇති බව වාර්තා වෙයි.

වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් දක්වන අනම්‍ය හැසිරීම සජිත් පාර්ශවයට දැඩි පහරක් වී තිබෙන අතර සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නායකත්වය ලැබීම සම්බන්ධයෙන් වන සම්භාවිතාව පිළිබඳ සජිත් පාර්ශවය තවදුරටත් දැඩි සැකයකින් පසුවන බව සඳහන්.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ තේරීම වත්මන් කතානායක කරු ජයසූරිය මහතා වන බවත් යම් ලෙසකින් එළඹෙන බ්‍රහස්පතින්දා (16) කරු ජයසූරිය මහතාව නායකත්වයට යෝජනා කළහොත් ඊට එරෙහිව දැඩි විරෝධයක් දැක්වීමට සජිත් පාර්ශවය සූදානමින් පසුවන බවයි වාර්තා වුණේ.

මේ වන විටත් කරු ජයසූරිය මහතාට එරෙහිව එජාප අභ්‍යන්තරයේ කැරැල්ලක් දියත්වෙමින් තිබෙන බවද වාර්තා විය.

පාක්ෂිකයන් තරුණ නායකත්වයක් ඉල්ලා සිටියදී වික්‍රමසිංහ මහතා ඔහුගේ සිතැඟි පරිදි කටයුතු කරන්නේ නම් ඊට විරුද්ධ වීමට කිසිලෙසකින්වත් පසුබට නොවන බවට සජිත් පාර්ශවය එකඟතාවකට පැමිණ තිබේ.

කෙසේ හෝ සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකත්වයට පත්කරගැනීම ඔවුන්ගේ ප්‍රමුඛතම අරමුණ වන හෙයින් ඒ වෙනුවෙන් ඕනෑම දෙයකට සූදානමින් පසුවන බවද සඳහන්.

මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වමින් සිටින ඇතැමුන්ද බ්‍රහස්පතින්දා සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට සූදානමින් පසුවන බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

පක්ෂය දෙකඩ නොකරගනිමින් පවත්නා අර්බුදය විසඳා ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබා දුනහොත් පක්ෂයේ සෙසු සියලුම තනතුරුවල වෙනසක් කිරීමට ප්‍රේමදාස මහතා බලාපොරොත්තුවෙන් පසුවන බවද කියැවිණි.

(LNW)