Tuesday, July 08, 2025
Follow Us
රනිල් එජාපයෙන් නෙරපා දැමීමේ මෙහෙයුමට මලික් යළි කරලියට?

සිංගප්පූරු සමාගමක් සමඟ සිදු කරන ඉඩම් ගනුදෙනුවක් හා තවත් ආන්දෝලනාත්මක ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මලික් සමරවික්‍රම මහතා මේ දින යළි කරලියට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයෙන් නෙරපා හැරීමේ මෙහෙයුම යළ ක්‍රියාත්මක කිරීමට ය.

මලික් සමරවික්‍රම පාර්ලිමේන්තු වරම් ලබා ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පිහිටෙනි. එහෙත් පසුගිය ජනාධිපතිවරණ උණුසුම අභියස රනිල්-ප්‍රතිවාදී සජිත් දිනවීමේ මෙහෙයුමට වෙඩිමුරය දියත් කළ එජාප ප්‍රභලයින් අතර ප්‍රමුඛ චරිතයක් වූයේ මලික් සමරවික්‍රම ය. ජනාධිපතිවරණ පරාජයෙන් පසු මලික් සමරවික්‍රම ලිඛිතව ප්‍රකාශ කොට තිබුණේ තමා දේශපාලනයෙන් සමුගන්නා බවයි.

එහෙත් මලික් වික්‍රමසිංහ යළි කරලියට පැමිණ ඇති සැටියක් පෙනෙන්නට තිබේ. ඒ රනිල් - කරු යුග්මය එජාපයෙන් එළවා දැමීමට බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු ලංකා නිව්ස් වෙබ් වෙත පවසා සිටියේ මලික් සිය නිවසේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීමේ සැලසුම් සාකච්ඡා දෙකක් පැවැත්වීමට සැලසුම් කොට තිබෙන බවයි.

එජාපයට මේ මොහොතේ අවශ්‍යව තිබෙන්නේ ශක්තිමත් සිංහල බෞද්ධ ඡන්ද පදනමක් ගොඩ නඟා ගැනීම බවත් එය සිදු කළ හැක්කේ කරු ජයසූරිය මහතා ගේ නායකත්වයෙන් පමණක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ අවාසනාවන්ත ලෙස පරාජයට පත්විය. එජාපයට කත් ඇද හෙම්බවත් ව සිටින සුළුතර පක්ෂ මේ වන විට එළඹෙන මහ මැතිවරණයේ පාලක පක්ෂ වෙත සහය පළ කළ යුත්තේ ද යන්න දෙගිඩියාවෙන් පසුවෙයි.

සජිත් ප්‍රේමදාස දිනවීමේ මෙහෙයුමේ පෙරමුණ ගත් මන්ත්‍රීවරුන් දැනටමත් සිරිකොත පක්ෂ මූලස්ථානයේ තනතුරු බෙදා ගැනීමේ පොරයක නිරත වන බවට වාර්තා වෙයි. සජිත් දිනවීමේ මෙහෙයුම පසුපස තිබෙන්නේ බඩවියත රැක ගැනීමේ අරමුණක් විනා රට ගොඩනැඟීමේ අභිලාශක් නොවන බවට එම මන්ත්‍රීවරයා අප සමඟ පවසා සිටියේය.

එහෙත්, මලික් ගේ අරමුණ සජිත් ප්‍රේමදාස දිනවීම නම්, ජනාධිපතිවරණයට පෙර සජිත් ප්‍රේමදාස විසින්ම ප්‍රතික්ෂේප කරන ලද්දේ යැයි කියූ ආන්දෝලනාත්මක එම්සීසී ගිවිසුම අනුමත කර ගැනීමට මලික් - මංගල යුගලය මාන බැලුවේ ඇයි? දේශපාලන විශ්ලේෂකයන් පවසන අන්දමට මෙම එම්සීසී විවාදය නිසා ජනාධිපතිවරණය තුළ සජිත් ප්‍රේමදාස මහතා හට 2% පමණ වත් ඡන්ද අවාසියක් හිමිව ඇත. සජිත් එම්සීසී ගිවිසුම පිළිබඳ විරෝධී මතයක් දරන බව බැලු බැල්මට පෙන්වූවද, ප්‍රසිද්ධියේ එය ප්‍රකාශ කිරීමට කටයුතු නොකළේ ඇයි? ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ පූර්ව මැතිවරණ සමීක්ෂණ අභියෝගයට ලක් නොකළේ ඇයි?

එම්සීසී ගිවිසුම අනුමත කර ගැනීම සඳහා චීනයෙන් මුදල් ලබා ගත්තේය යැයි චෝදනාවක් මලික් වික්‍රමසිංහට එරෙහිව ගොනුවී පවතී. එජාපයට හෙනහුරා ගැසුවේ මලික් ගේ වරදින් බවට ඇතැම්හු චෝදනා නඟති. මලික් ගේ පාලනය යටතේ ආයෝජන මණ්ඩලය ක්‍රියාත්මක වූ අවධියේ සිදුවූ සියළු ගනු දෙනු පිළිබඳ විමර්ශන දියත් කළ යුතුය. රජයේ ආරංචිමාර්ග වලට අනුව දැනටමත් එය ක්‍රියාත්මක වෙමින් පවතී. සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික අමාත්‍යංශය හෙබවූ සමයේ සිදුවූයේ ය කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ට අයත් යැයි පැවසෙන හඬ පට සම්බන්ධයෙන්ද මේ වන විට ආණ්ඩු පක්ෂ විපක්ෂ දෙපාර්ශවයම කැළඹීමට පත්ව තිබේ. ඒ, සමාජ මාධ්‍ය ජාල වලට නිකුත් වූ (සත්‍යතාව තහවුරු කොට නොමැති) විවිධ හ ඬ පට වලින් කියවෙන තොරතුරු වලට දෙපාර්ශවයේ ම යම් කොනක් හො ඈඳී තිබෙන බැවිනි.

එජාපය තුළ මේ වන විට හට ගෙන තිබෙන අර්බුදය විසඳීමට හැක්කේ පරිණත නායකයකුට පමණය. මලික් සමරවික්‍රමගේ ධුරකාලය තුළ බොහෝ ව්‍යාපාරිකයින් ව්‍යාපෘති අකුලා ගැනීමට හේතුව දැන් පැහැදිලිය. මේ පිළිබඳ අදහස් දක්වමින් ආනයන කටයුතු පිළිබඳ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු ලංකා නිව්ස් වෙබ් වෙත පවසා සිටියේ මලික් සමරවික්‍රම ව්‍යාපාරික ගිවිසුම් හෙබවූ ආකාරය අතිශයින් අඳබාල බවයි. එවන් තත්ත්වයක් තුළ කිසිවිටක එජාපයට සහාය පළකිරීමට තමා සූදානම් නොමැති බවද හෙතෙම සඳහන් කර සිටියේය.

එජාපයේ විනාශය ට හේතුව මලික් සමරවික්‍රම වැන්නවුන් බව පෙන්වා දෙන ඇතැම් පාර්ශව අවධාරණය කර සිටියේ සජිත් ප්‍රේමදාස වටා සිටින කිසි දිනක ඡන්ද ලක්ෂ 6ක් වත් ලබා ගත නොහැකි මන්ත්‍රීවරුන් හට මෙවර ද තේරී පත්වීම දුෂ්කර වනු ඇති බවයි. එමෙන්ම, කරු ජයසූරියගේ අඩිතාලම ඔස්සේ නවීන් දිසානායක වැන්නවුන් නායකත්ව භූමිකාව රඟ දක්වනු දැකීමට මෙම මන්ත්‍රීවරුන් බියෙන් පසුවන බවට එම පාර්ශව පෙන්වා දෙති.

කෙසේ වෙතත්, නවීන් දිසානායක වැන්නවුන් හට දේශපාලනය තුළ යාමට බොහෝ දුරක් තිබේ. ඒ තුළ නායකත්වය හුදෙක් සිහිනයක් පමණි.

(LNW)