Tuesday, July 08, 2025
Follow Us
යූඇන්පිය ඉවරයි, මහයියාව පොදු සුසාන භූමියෙ වළදැම්මා - මහින්දානන්ද

රංජන් රාමනායක හඩපඩ සිද්ධියත් සමඟ එක්සත් ජාතික පක්ෂය ගමන අද අවසන් වී ඇතැයි විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. එලෙස අවසන් වූ එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණයට මාස හතරක් තිබියදී මහයියාව පොදු සුභාන භූමියේදී මිහිදන් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට මහනුවර මහයියාවේදී එක්වෙමින් අමාත්‍යවරයා කීවේය.

අප්‍රේල් මස පැවැත්වෙන මහ මැතිවරණයේදී තුනෙන් දෙකක ජයග්‍රහණයක් නිසැක වශයෙන්ම ලබාගත හැකි යැයි කී අමාත්‍යවරයා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

'රංජන් රාමනායක මහතා හඬපට එක්ලක්ෂ විසිදහසක් පටිගත කොට තිබෙනවා. ඉන් එළියට පැමිණ තිබෙන්නේ තවමත් හයයි. අපිට මාස හතරක කාලයක් තිබෙනවා. හොඳ හොඳ සෙල්ලම් ඉදිරියේදී බලා ගන්න පුළුවන්.'

'රන්ජන් රාමනායක මහතාගේ දුරකථන හඩපට සිද්ධිය පිටුපස ඉන්නේ වෙන කවුරුවත් නොව රනිල් වික්‍රමසිංහ මහතායි. එමෙන්ම සරත් ෆොන්සේකා, චම්පික රණවක, අජිත් පී. පෙරේරා යන මහත්වරුන්ද නීතිපතිවරු පොලිස්පතිවරු මේක පිටුපස සිටිනවා. ඒ සියලු දෙනාම අරලියගහ මන්දිරයේදී සාකච්ඡා කොට මෙම කාර්යය සිදු කිරීම සඳහා රංජන් රාමනායක මහතා සම්බන්ධ කර ගත්තා.'

'අද සමස්ත ජනතාවම අධිකරණ පද්ධතිය පිළිබඳව කතා කරනවා. මෙතෙක් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් දුෂ්ඨයි කියපු ජනතාව අද අධිකරණය දුෂ්ඨ බව ප්‍රකාශ කරනවා' යැයි කණගාටුවෙන් වුවත් කිව යුතු යැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(LNW)