Tuesday, July 08, 2025
Follow Us
ජනතාවට ඇත්ත දැනගන්න රංජන්ගේ සියලුම හඬපට එළියට දාන්න - ජවිපෙ

රංජන් රාමනායක මහතාගේ දුරකථන ඇමතුම්වලින් තමන්ට වාසි සහගත කොටස් පමණක් තෝරාගෙන ප්‍රසිද්ධ කරනවා වෙනුවට සියලුම හඬපට ප්‍රසිද්ධියට පත් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

"අපි කියන්නෙ ඔය තියන සේරම හඬපටි දැන් එළියට දාන්න. තෝර තෝරගෙන තමන්ට වාසිසහගත දේවල් පමණක් එළියට දාන්න නෙවෙයි, සියලුම දේවල් එළියට දාන්න. එතකොට මේ දේශපාලන ක්‍රමයේ තියෙන ජරාජීර්ණ බව ජනතාවට තේරුම් ගන්න පුළුවන් වේවි.

ඒවගේම රංජන් රාමනායක විතරක් නෙවෙයි තවත් ඔයවගේ අධිකරණයට, නීතියට, ජනාධිපතිවරුන්ට, අගමැතිවරුන්ට බලපෑම් හෝ ඉල්ලීම් කළ සියලුම හඬපට හැකි ප්‍රමාණයෙන් එළියට දාලා මේ අය ඇත්තටම මොකද්ද කළේ කියන එක ජනතාවට තේරුම් කරවන්න පුළුවන් නම් මේ වෙලාවෙ, වටිනවා" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම මේ හඬපට සිද්ධියේදී ජනතා විමුක්ති පෙරමුණට එල්ල වන චෝදනා පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ "එක කණ්ඩායමක් ඉන්නවා ඒ සිද්ධ වුණ දේට ජනතා විමුක්ති පෙරමුණ ඈඳාගන්න උත්සාහ කරන. අපට බේරාගන්න කිසිම නඩුවක් නෑ, අපට ආණ්ඩුව එක්ක සෙට්වෙලා කරන්න ව්‍යාපාර නෑ, අපට ආණ්ඩුවෙ උදව්වෙන් සිංගප්පූරුවෙ රෝහලට ගිහින් ප්‍රතිකාර ගන්න වුවමනා වෙලා තිබ්බෙ නෑ, ඉතිං අපි බය නෑ ඔය කිසිම හඬපටයක් පිළිබඳව.

පසුගිය කාලේ අල්ලස් කොමිසමෙන්, සීඅයිඩී එකෙන්, එෆ්සීඅයිඩී එකෙන් නඩු පවරපු අයගේ දුරකථනත් පරීක්ෂා කරලා බැලුවා නම් ඒ නඩු කල් යන්න හේතු, සමහර අධිකරණවලින් අපේක්ෂිත ඇප ලබාගන්න හේතු ඉතාම පැහැදිලි වේවි" යනුවෙනි.

(LNW)