භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාව මේ මොහොතේ නිදහස් කළහොත් ජනතාව ජනාධිපතිවරයාට හෝ අධිකරණ අමාත්‍යවරයාට ඒ සම්බන්ධයෙන් දෝෂාරෝපණය නොකරනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
රංජන් රාමනායක මහතාගේ හඬපට නිසා සමාජය තුළ මතුව ඇති සංවාදය හේතුවෙන් එසේ වනු ඇති අතර දුමින්ද සිල්වා මහතාට සාධාරණය ඉටු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි ඔවුන් පවසන්නේ.
ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය මෙසේ සඳහන් කළාය.
"මේවාට තමයි එවැනි කටයුත්තකදී මැදිහත් වෙන්න පුළුවන් බලයක් ජනාධිපතිවරයාට අපේ රටේ දීලා තියෙන්නෙ. දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාට නීතියේ සාධාරණත්වය ඉෂ්ඨ වෙලා නෑ කියන එක කවුරුත් දන්න කරුණක්. ජනාධිපතිතුමාට හරි අධිකරණ ඇමතිතුමාට හරි මේ සමාජ කතිකාවතක් ඇතිවෙලා තියෙන වෙලාවේ මන්ත්‍රීතුමා නිදහස් කළාය කියලා මේ මිනිස්සු බනින එකක් නෑ. මේ වගේ ප්‍රශ්නෙකදි ඔක්කොම එකතු කරලා මැදිහත් කරලා කතිකාවතක් ගොඩ නඟන්න ඕනෙ"
දයාසිරි ජයසේකර මහතා ද එහිදී ප්‍රකාශ කළේ නඩුව ආපසු කැඳවීමට නීතිමය හැකියාවක් නොමැති බැවින් දැනට ඇති එකම විසඳුම වන්නේ ජනාධිපති සමාව මත දුමින්ද සිල්වා මහතාව නිදහස් කිරීම බවයි.
"මේක බලන්න අර දිට්ඨධම්මවේදනීය කර්ම කියලා එකක් තියෙනවා නේද ? හිරේ දාන්න මහන්සි වුණු පුද්ගලයාම අද ඔප්පු කරලා තියෙනවා ඔහුව නිදහස් කළ යුතුයි කියන කාරණයටම ගෙනල්ලා තියෙනවා. ඉතිං ඒකයි මං කියන්නෙ, මේකට වෙන විකල්පයක් නෑ. තියෙන්නෙ එකම විකල්පය තමයි ජනාධිපතිතුමා දෙන සමාව තමයි. අවසානයේ වෙන තීන්දුවක් නෑ අපට"
(LNW)