වසර 25කට පසුව ඊයේ (03) දිනයේ සිට රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව තුළ කිසිදු විශේෂ තනතුරක් නොදරන සාමාන්‍ය මන්ත්‍රීවරයකු බවට පත්විය. ඒ, සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස පත්වීමත් සමඟය.
1977 මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මුල් වරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඒ මහතා එම රජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද පසුව තරුණ කටයුතු හා රැකියා කැබිනට් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.
1993 වසරේදී එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ඝාතනයට ලක්වීමෙන් අනතුරුව ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා යටතේ අග්‍රාමාත්‍ය තනතුරට පත්වූ වික්‍රමසිංහ මහතා 1994 මහමැතිවරණයෙන් එජාපය පරාජයට පත්වීමෙන් පසු සාමාන්‍ය මන්ත්‍රීවරයකු බවට පත්වූයේ විපක්ෂ නායක ධුරය ගාමිණී දිසානායක මහතාට හිමිවූ නිසාය.
එහෙත් 1994 ජනාධිපතිවරණය ආසන්නයේදී ගාමිණී දිසානායක මහතා ඝාතනයට ලක්වීමෙන් අනතුරුව විපක්ෂ නායක ධුරයට පත්වුණු ඒ මහතා 2001 වසරේදී දෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරය හිමිකර ගත්තේය.
2004 මහමැතිවරණ පරාජයෙන් පසුව 2015 වසර දක්වාම විපක්ෂ නායක ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා 2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීමෙන් පසු තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.
2015 අගෝස්තු මහමැතිවරණයෙන් ජයග්‍රහණය කරමින් සිව්වැනි වරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත් වුණු ඒ මහතාට 2018 ඔක්තෝබර් දේශපාලන අර්බුදයේදී සිය තනතුර අහිමි කෙරුණු නමුත් දින 52ක් තුළ යළි බලය ලබා ගනිමින් ඔහු 2018 දෙසැම්බර් 16 වනදා පස්වැනි වරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
2019 ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්වීමෙන් අනතුරුව යළි එජාපය විපක්ෂයට ගිය අතර ඊයේ (03) දිනය දක්වා ඔහු විපක්ෂ නායකවරයා වශයෙන් යළිත් කටයුතු කළේය.
ඒ අනුව 1994 වසරේ සිට වසර 25කට පසුව වික්‍රමසිංහ මහතා යළිත් කිසිදු තනතුරක් නොදරන සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්ව සිටී.
(LNW)