Sunday, July 06, 2025
Follow Us
නිදහස් පක්ෂයට තනතුරු නොදීම ගැන හිටපු ජනාධිපති කණස්සල්ලෙන්!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ තනතුරු සඳහා නිදහස් පක්ෂයට නොලැබීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි කණස්සල්ලකින් පසුවන බව වාර්තා වෙයි.

ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා අවසානයේ කිසිදු කොන්දේසියකින් තොරව සහය දුන්නද ඒ සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වමින් තිබෙන බවට හිටපු ජනාධිපතිවරයා සිය සමීපතමයන් සමඟ පවසා තිබේ.

ආණ්ඩුකාර ධූර,ආයතන ප්‍රධානී ඇතුළු රජයේ ඉදිරිපෙළ තනතුරු සඳහා මේ වන විට පත්කිරීම් සිදුවෙමින් පවතින අතර එම තනතුරු සඳහා ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරයාට හිතවත් තැනැත්තන් පමණක් පත්කරමින් තිබෙන බවට මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනාත්මකව පවසා ඇති බව සඳහන්.

ජන්ද වැඩිකරගැනීම සඳහා පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යොදාගැනීම සම්බන්ධයෙන් තමන් අතිශය කණගාටුවට පත්වන බවද හිටපු ජනාධිපතිවරයා පවසා ඇත.

 

නාලනී අබේවර්ධන DLB සභාපති ධූරය ප්‍රතික්ෂේප කරයි

මේ අතර සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිනිය ලෙස නම් කර තිබෙන වෘත්තීය බැංකුකරුවකු වන W.නාලනී අබේවර්ධන මහත්මිය එම තනතුර භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරියක ලෙස සේවය කර ඇති අබේවර්ධන මහත්මිය 2015 වසරට පෙර ජාතික ඉතිරි කිරීමේ බැංකුවේද සභාපති ධූරය හොඹවා ඇත.

කෙසේවෙතත් ඇය නව තනතුරු ප්‍රතික්ෂේප කිරීම නිසා එම තනතුරේ කටයුතු කළ ප්‍රවීණ බැංකුකරුවෙකු වන සේන සූරියප්පෙරුම මහතාවම යළි පත්කරන ලෙස හිටපු ජනධිපතිවරයා වත්මන් ජනාධිපතිවරයාව දැනුවත් කර ඇති බව වාර්තා විය.

සේන සූරියප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය කාලය තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලය අත්කරගත් ප්‍රගතිය තවදුරටත් ඔහුව එම තනතුරට සුදුස්සෙකු බවට පෙන්වා ඇති බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

ඊට ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව සඳහන්.

(LNW)