Sunday, July 06, 2025
Follow Us
19න් අඩු වූ ජනපතිගේ බලතල වැඩි කිරීමට ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් පාර්ලිමේන්තුවට

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අඩු කෙරුණු විධායක ජනාධිපති ධුරයෙහි බලය යළි වැඩිකිරීම සඳහා සහ මන්ත්‍රී ධුරයක් සඳහා ලබාගත යුතු ඡන්ද ප්‍රතිශතය ඉහළ නැංවීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් දෙකක් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

විජේදාස රාජපක්ෂ මහතාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම 21 සහ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර මේ වනවිට ඒවා රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කර ඇත.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර ඇත්තේ 15 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් දිස්ත්‍රික්කයක මන්ත්‍රී ධුරයක් ලබාගැනීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂයක් ලබාගත යුතු ඡන්ද ප්‍රතිශතය 5% සිට 12.5% දක්වා යළි ඉහළ නැංවීම සඳහාය. මේ හරහා කුඩා දේශපාලන පක්ෂවලට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව බොහෝදුරට අහිමි වනු ඇත.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් යෝජනා කර ඇත්තේ ඉහළ අධිකරණ සඳහා විනිසුරුවරුන් පත්කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය වෙනුවට අධිකරණ කොමිෂන් සභාවේ අදහස් විමසා ජනාධිපතිවරයාටම එම පත්කිරීම් සිදුකිරීමේ බලය පැවරීමටය.

එසේම නීතිපති, පොලිස්පති, පාර්ලිමේන්තු මහලේකම්, ඔම්බුඩ්ස්මන් යන තනතුරු සඳහා පුද්ගලයින් පත්කිරීමේදී ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය වෙනුවට අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසා ජනාධිපතිවරයාටම එම පත්කිරීම් සිදුකිරීමේ බලය පැවරීමට 22 වන සංශෝධනය මඟින් යෝජනා කර තිබේ.

තව ද ආරක්ෂක අමාත්‍ය ධුරය අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා වෙත පැවරීමට ද වෙනත් අමාත්‍යාංශ අවශ්‍ය නම් තමන් යටතේ තබාගැනීමට ජනාධිපතිවරයාට බලය පැවරීම ද එම සංශෝධන කෙටුම්පතෙන් යෝජනා කර ඇත.

(LNW)