Sunday, July 06, 2025
Follow Us
එක්නැලිගොඩ අතුරුදහන් කිරිමට චමිපික රණවක සම්බන්දයක් නෑ – සන්ධ්‍යා එක්නැලිගොඩ

ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් වන නඩු විභාගයට හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරිමට ඉඩ නොදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සන්ධ්‍යා එක්නැලිගොඩ පැවසීය.

ජාතික පුස්තකාල ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ ඊයේ (31) පැවති මාධ්‍ය හමුවක ඇය මෙසේ කීවාය.

ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් වන නඩු විභාගයේ සත්‍ය දැනගැනීමේ අයිතිය තමන්ට මෙන්ම රටේ ජනතාවට ඇති බැවින් ඒ සඳහා අවස්ථාව ලබාදීම රජයේ වගකීම බවත් සන්ධ්‍යා එක්නැලිගොඩ සඳහන් කර තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සන්ධ්‍යා එක්නැලිගොඩ මෙසේ ද සඳහන් කර තිබේ.

‘ප්‍රගීත්ව පැහැරගත් බව‍ට හෙළිවී ඇති කණ්ඩාමට එරෙහිව හෝමාගම සහ කොළඹ ස්ථිර ත‍්‍රිපුද්ගල අධිකරණයේ නඩු ගොනු කරලා තියෙනවා. මටත් ප‍්‍රගීත්ටත් මඩ ගහන එකත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමටත් එම කණ්ඩායම යළි ආරම්භ කර තිබෙනවා. මේ වනවිට තියෙන සාක්ෂි විනාශ කරලා සාක්ෂිකරුවන් බිය ගන්වලා ඒ මත මේ නඩුව අවුල් කිරීමේ උත්සාහයක් තියෙනවා.

මෙම අපරාධය හා සම්බන්ධ දැනට හඳුනාගෙන සිටින මෙම හමුදා බුද්ධි අංශ නිලධාරින් නිදොස් කොට නිදහස් කරන්නවත්, මේ අපරාධය වසන් කරන්නවත් එපා කියලා මම මේ රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ අධිකරණ ක‍්‍රියාදාමයට ඇඟිලි ගහන්න එපා කියන ඉල්ලිමත් සත්‍ය සහ යුක්තිය ඉෂ්ඨ කරන්න කරන්න කියන ඉල්ලීමත් මම මේ රජයෙන් ඉල්ලා සිටිනවා.

මේ නඩුවට අදාළ නැති විවිධ පුද්ගලයන් මේකට දැන් බලපෑම් කරමින් සිටිනවා. මේක අපරාධයක් මේකට අනුබල දෙන අයත් අපරාධකරුවන්මයි. ඒ නිසා මම ඒ අයට කියන්න කැමතියි තමන්ගේ දේශපාලන වුවමනාවන් සඳහා ප‍්‍රගීත්ගේ අතුරුදන්වීම පාවිච්චි කරන්න එපා කියලා.

ඒ අයට පාඨලී චම්පික රණවකත් එක්ක දේශපාලන ප‍්‍රශ්නයක් තියෙනවා නම් ඔහුත් එක්ක ඒ දේවල් විසඳගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ප‍්‍රගීත්ගේ අතුරුදන්වීම සහ මේ නඩුත් එක්ක පාඨලීව සම්බන්ධ කරන්න එපා මොකද ප‍්‍රගීත්ව පැහැරගැනීම මෙහෙය වූයේ කවුද කියා අද මේ රටම දන්නවා. මේ වනවිට හෙළි නොවූ සත්‍යයත් ඒකයි.’

(Lanka Leads)