Sunday, July 06, 2025
Follow Us
කැලඹිල්ල සමනය වනතුරු වෙල්ගම දේශපාලනයෙන් ඉවත්වෙයි

දේශපාලනයේ පවතින කැලඹිලි සහිත තත්ත්වය සමනය වන තුරු තමන් දේශපාලනයෙන් තාවකාලිකව ඉවත්ව වගා කටයුත්තකට යොමු වූ බවත්, මේ වන විට මතුගම අක්කර 125 තේ වගා කිරීමේ කටයුත්තක නිරත වී සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

අරුණ කළ විමසීමකදී ඔහු කියා සිටියේ ශක්තිමත් පොදු විපක්‍ෂයක් නිර්මාණය කිරීම ඉතා වැදගත් කාරණයක් වුවද විපක්‍ෂයේ පක්‍ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුම් එම වැඩපිළිවෙළ අඩාළ කර ඇති බවයි. කෙසේ වෙතත් ශක්තිමත් පොදු විපක්‍ෂයක් බිහි කිරීම සඳහා වූ තම අපේක්‍ෂාව අත්හැර නොමැති බවද කියා සිටියේය.

ඒකාබද්ධ විපක්‍ෂය නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය හා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් උගත් පාඩම් උපයෝගී කර ගනිමින් වත්මන් රජයට එරෙහි පොදු විපක්‍ෂයක් නිර්මාණය කිරීමේ කටයුත්තට නායකත්වය ලබාදෙන බවද ඔහු පැවැසීය.

කෙසේ වෙතත් විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ අතර පවතින ගැටලු හා අර්බුද විසදා ගන්නා තුරු ඒ සඳහා බලා සිටීමට සිදුව ඇති බවත්, අර්බුද හමුවේ පොදු විපක්‍ෂයක් නිර්මාණය කළ නොහැකි බවත් ඔහු කියා සිටියේය.

(Lanka Leads)