Saturday, July 05, 2025
Follow Us
රාජිත ගැන තීරණයක් ගන්න තවත් දින කිහිපයක් ගත වෙයි

රක්‍ෂිත බන්ධනාගාර ගතව නාරාහේන්පිට පෞද්ගලික රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න තවදුරටත් එම රෝහලේ රඳවා සිටිය යුතුද? යන්න පිළිබද තීරණයක් ගැනීමට තවත් දින කිහිපයක් අවශ්‍ය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ (28) දිනයේ හිටපු අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පරීක්‍ෂා කළ වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප‍්‍රධාන වෛද්‍යවරිය ඒ බව දන්වා ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියෝග කර තිබුණේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු හරහා හිටපු අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප‍්‍රධාන වෛද්‍යවරිය ඊයේ පෙරවරුවේ හිටපු අමාත්‍යවරයා පරීක්‍ෂා කර තිබෙනවා. රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාට ප‍්‍රතිකාර සිදුකරන එම රෝහලේ වෛද්‍යවරුන් එහිදී පවසා ඇත්තේ තවත් පරීක්‍ෂණ කිහිපයක් සිදුකිරීමට නියමිතව ඇති බවයි. ඒ අනුව එම පරීක්‍ෂණ අවසන් වූ පසු යළි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සෞඛ්‍ය තත්ත්වය එම වාර්තාද පදනම් කරගෙන පරීක්‍ෂා කළයුතු බවට බන්ධනාගාර රෝහලේ ප‍්‍රධාන වෛද්‍යවරිය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දන්වා තිබෙනවා.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහලට හෝ කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමේ හැකියාවක් ඇත්ද යන්න පිළිබද එම අවස්ථාවේදී තීරණය කරනු ඇති බවයි පැවසෙන්නේ.

(Neth)