Saturday, July 05, 2025
Follow Us
රාජිත බන්ධනාගාර නිලධාරීන් යටතේ තවදුරටත් පෞද්ගලික රෝහලේ

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න බන්ධනාගාර නිලධාරීන් හතර දෙනෙකුගේ ආරක්‍ෂාව යටතේ තවදුරටත් නාරාහේන්පිට පෞද්ගලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා.

හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ජේලර්වරයෙකුගේ ප‍්‍රධානත්වයෙන් අවි සහිත නිලධාරීන් දෙදෙනකු ඇතුළුව බන්ධනාගාර නිළධාරීන් හතර දෙනෙකු යොදවා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ දිනයේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ පිළිබද අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුු කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ශලනි පෙරේරා නියෝග කළේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ලබන 30 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ප‍්‍රතිකාර ලබන නාරාහේන්පිට පෞද්ගලික රෝහල වෙත පැමිණි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්වරිය පසුව මෙම නියෝගය නිකුත් කළා.

මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට පත්වුවහොත් ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට වෛද්‍යවරයෙකු ඉකුත් දිනවල සැලසුම් කර ඇතැයි බන්ධනාගාර ආරංචි පවසනවා. එම වෛද්‍යවරයා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සමග සුහදව සිටින අයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.

අදාළ වෛද්‍යවරයා රාජකාරි නිවාඩු ලබා සිටින දිනකදී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට පත්වුවහොත්, ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට ද අවශ්‍ය පියවර ගැනීම සඳහා එම වෛද්‍යවරයා බන්ධනාගාර රෝහලට ද පැමිණ තිබෙනවා.

(Neth)