Saturday, July 05, 2025
Follow Us
රෝහල්ගත වූ රාජිතගෙන් C.I.Dය ප‍්‍රකාශයක් ගනී - ‍රෝහල් පරිශ්‍රය පුරා පොලිස් රැකවල් යෙදවේ

ආන්දෝනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ රාති‍්‍රයේ ප‍්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. ඒ, ඔහු වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා නාරාහේන්පිට ලංකා හොස්පිටල්ස් පුද්ගලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුවයි.

රාතී‍්‍ර 07.30 ට පමණ හිටපු අමාත්‍යවරයා එම රෝහල වෙත ඇතුළත් කළ බවයි නෙත් නිව්ස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ. හිටපු අමාත්‍යවරයා ඇතුළත් කර ඇත්තේ එම රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකය වෙත බව ද වැඩිදුරටත් වාර්තා වුණා.

අද අලූයම වනවිටත් හිටපු අමාත්‍යවරයා ප‍්‍රතිකාර ලබන පෞද්ගලික රෝහල් පරිශ‍්‍රය තුළ පොලිස් නිලධාරීන් රැඳී සිටි බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ ඉකුත් 24 වනදායි.

ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍යවරයා රැඳී සිටින බවට සැකකෙරෙන ස්ථාන කිහිපයක් පරීක්ෂාවට ලක් කළ ද ඔහු එම ස්ථානවල රැඳී සිටියේ නැහැ.

හිටපු අමාත්‍යවරයාගේ කොළඹ පිහිටි නිල නිවෙස ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් දෙවන වරටත් විශේෂ පරීක්ෂාවකට ලක් කළා. එහෙත් එම අවස්ථාවේදී ද හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් හෙළිවූයේ නැහැ.

(Neth)