Saturday, July 05, 2025
Follow Us
රාජිත අත්අඩංගුවට නොගත්තේ පක්ෂ නායක තීරණය නිසාද?

හිටපු සෞඛ්‍ය,පෝෂණ දේශීය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබියදී ඊයේ (24) රාත්‍රියේ ඔහුව අත්අඩංගුවට නොගත්තේ පක්ෂ නායක හමුවේදී ගත් තීරණයක් නිසා යැයි වාර්තා වෙයි.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ පක්ෂ නායක හමුවේදී එකඟතාවකට පැමිණ ඇත්තේ රාත්‍රී කාලයේ කිසිදු මැති ඇමතිවරයෙකු අත්අඩංගුවට නොගැනීමටය.

චම්පික රණවක මහතා අත්අඩංගුවට ගත් ස්වභාවය හේතුවෙන් ඊට බලවත් විරෝධයක් ඇති වූ අතර කිසිදු දැනුම්දීමකින් තොරව මහ රෑ නිවෙස්වලට පැන මැති ඇමතිවරු අත්අඩංගුවට ගැනීම යෝග්‍ය නොවන බවට අදහස් පළවිය.

ඒ අනුව ඊයේ රාත්‍රියේ රාජිත සේනාරත්න අත්අඩංගුවට නොගත් බව .වාර්තා විය.

කෙසේවෙතත් අද (25) දින ඔහුව අත්අඩංගුවට ගනු ඇති බවද කියැවුණි.

ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේ පැවැත්වූ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාට චෝදනා එල්ල වී තිබේ.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින හෙයින් එය වළක්වමින් සුදුසු ඇපයක් මත තමන්ව මුදාහරින ලෙස අපේක්ෂිත ඇපයක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් සේනාරත්න මහතා ඉල්ලූ අතර එය සලකා බැලීම එළඹෙන 30 වැනිදාට කල් තැබුණි.

(LNW)