Saturday, July 05, 2025
Follow Us
මෛත්‍රීට - රනිල්ට අධිකරණයෙන් නොතීසි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නොතීසි නිකුත් කර තිබෙනවා. පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුත නොකිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව අද (23) විභාගයට ගත් අවස්ථාවේදී කෙ‍ාළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා මෙසේ හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු අගමැතිවරයාට නොතීසි නිකුත් කළේය.

අදල සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයිි ඔවුන් දෙදෙනාට මීට පෙර දැනුම් දී තිබිණි. කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබා දී තිබුණේ නැත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව අධිකරණය වෙත දැනුම් දුන් අතර නොතීසි නිකුත් කර ඇත්තේ ඒ අනුවයි.

මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රකාශ ලබාදීම තවදුරටත් පැහැර හරින්නේ නම් ඔවුන් දෙදෙනාට එරෙහිව ගතයුතු පියවර ගන්නා ලෙසයි.

මෙම නඩුවට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක‍ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර් නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තවදුරටත් රිමාන්ඩ් බන්ධාගාර ගත කෙරිණි.

නීතිපතිවරයා වෙනුවෙන් කරුණ දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය වෙත දැනුම් දුන්නේ හිටපු අමාත්‍යවරුන් වන රාවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් යන දෙදෙනාගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවයි. මැල්කම් රංජිත් කාදිනල්වරයාගෙන් ප්‍රකාශ ලබාගැනීමට ගිය අවස්ථාවේ නත්තල් දිනයෙන් පසු එම ප්‍රකාශය ලබාදෙන බව ප්‍රකාශ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

(LNW)