පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා ඉක්මනින් නව අයවැයක් ඉදිරිපත් කරන ලෙස ජයග්‍රාහී පාර්ශ්වයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ බහුතර බලය විපක්ෂය සතුව ඇතත් එවන් අයවැයක් පරාජය කිරීමට තමන් කටයුතු නොකරන බව පැවසූ ඒ මහතා තමන් කුහක දේශපාලනය නොකරන බවයි අවධාරණය කළේ. එහෙත් මීට එක් කොන්දේසියක් ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
"සමෘද්ධි සහනාධාරයට අමතරව තව බඩු මල්ලකුත් දෙනවා කිව්වා, ඒකත් දැන් බොහෝ දෙනෙක් බලාගෙනම ඉන්නවා. අපි කරන්න ඕනෙ කුහක දේශපාලනය නෙවෙයි. අපි පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඒක විවේචනය කරන්න හොඳ නෑ. අත් දෙකම උස්සලා මුදල් අනුමත කරන්න ඕනෙ.
හැබැයි අපි ඉල්ලීමක් කරන්න ඕනෙ ජයග්‍රහණය කරපු පාර්ශ්වයට. ඉක්මනින් අලුත් අයවැයක් ගේන්න. මේ සමහරෙක්ගේ චකිතයක් ඇති තවමත් පාර්ලිමේන්තු බහුතරය අපට තියෙන්නෙ, අපි මේ අයව පරාජය කරයිද කියලා. නෑ, එහෙම පරාජය කරන්නෙ නෑ !
69 ලක්ෂයක් අනුමත කරපු ඒ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මුදල් යෝජනා ටික පාර්ලිමේන්තුවට ගේනකොට තුනෙන් දෙක නෙවෙයි හයෙන් පහ නෙවෙයි හයෙන් හයම දෙන්නම්. එක කොන්දේසියක් තියෙනවා, මේ සහන ටික මහමැතිවරණයෙන් ඔබ්බටත් වලංගු වෙන්න ඕනෑ" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (21) කිරිල්ලවල ප්‍රදේශයේ පැවති පාක්ෂිකයින්ගේ හමුවක් අමතමිනි.
(LNw)