Friday, October 18, 2024
Follow Us
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර තනතුරට A.S.P. ලියනගේ ?

පළාත් ආණ්ඩුකාර තනතුරක් කතෝලිකයකු වෙත ද ලබාදිය යුතු බවට කතෝලික සභාව හරහා ඉදිරිපත් කෙරුණු යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යහපත් ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, දැනට පුරප්පාඩු වී පවතින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර තනතුර කටාර් රාජ්‍යයේ හිටපු තානාපති, කෝටිපති ව්‍යාපාරික A.S.P. ලියනගේ මහතාට හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

පළාත් නවයේ ආණ්ඩුකාර තනතුරු අතරින් එකක් හෝ කතෝලික ප්‍රජාවට හිමි විය යුතු බවට කතෝලික සභාවේ පූජකවරුන් හරහා ජනාධිපතිවරයා වෙත කෙරුණු ඉල්ලීමේත් ඒ පිළිබඳව ජන මතයක් ඇති කිරීම සඳහා කෙරුණු ප්‍රචාරණ ව්‍යාපාරයේත් තිරය පසුපස හිඳිමින් සියල්ල මෙහයවූයේ ලියනගේ මහතා විසින් බවත් වාර්තා වී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය යුතු බවට සිංහල පුවත්පත්වල සම්පූර්ණ පිටු දැන්වීම් පළ කළේත් කටාර් රාජ්‍යයේ තානාපති තනතුරේ හිඳිමින්ම ගුවන් තොටුපළට පැමිණ රාජපක්ෂ පුතුන්ගේ ගමන් මළු කර ගැසුවේත් මේ A.S.P. ලියනගේ මහතාම විසිනි.

එහෙයින් ඔහුට ආණ්ඩුකාර තනතුරක් ලැබෙන්නේ නම් එය ජාතීන් අතර සංහිඳියාවට කෙසේවෙතත් රාජපක්ෂ පවුල සහ සිරිසේන ජනාධිපතිවරයා අතර සංහිඳියාවට නම් මහත් සේවයක් ඉටු කරනු ඇති බවයි දේශපාලන නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ.

(LNW)