Friday, April 26, 2024
Follow Us
අධිකරණ නියෝගයක් ආවොත් මැතිවරණය තියන්න වෙනවා

කල්දමා ඇති පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලැබෙන්නේ නම් කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ හැකි බව ජාතික මැතිවරණ කොමිසම ඊයේ (03) අභියාචනාධිකරණය වෙත දැනුම් දුන්නේය. එහිදී සීමා නිර්ණ කටයුතු හෝ නව මැතිවරණ ක්‍රමය හෝ නොසලකා මැතිවරණය පැවැත්වීමට හැකි බව දැනුම් දී තිබේ.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණය ඉදිරියේ ගොනුකර තිබූ පෙත්සම් දෙකක් විභාගයට ගත් අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ උදිත ඉහළ හේවා මහතා මේ බව ප්‍රකාශ කළේය.

උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් මහතා සහ සබරගමුව පළාත් හිටපු මහ ඇමති මහීපාල හේරත් මහතා මෙම පෙත්සම් දෙක ගොනුකර තිබිණි.

ඔවුන් සිය පෙත්සම්වලින් ඉල්ලා සිටියේ දිගින් දිගටම කල්දමා ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසයි.

අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ සහ අර්ජුන් ඔබේසේකර යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් අද කැඳවා තිබිණි. ඉදිරිපත් වූ කරුණු සලකා බලා ලබන අගෝස්තු 02 වැනිදා පෙත්සම් විභාගයට ගැනීමට විනිසුරු මඩුල්ල නියම කළේය.

(Lanka Leads)