ජනාධිපතිවරණයට පළමුව එළැඹි එකඟතා අනුව ඉදිරි මහ මැතිවරණයට මුහුණ දෙන බවත් එම එකඟතාවලින් බැහැරවීමට තරම් කිසිදු ගැටලුවක් මතුවී නැති බවත් ජාතික නිදහස් පෙරමුණු නායක, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
සියලු පක්ෂවල සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ජනාධිපතිවරණයටත් මහ මැතිවරණයේදී පොදු සන්ධානයක් වශයෙන් ආරම්භයේ තිබුණූ එකමුතුව අනුව ඉදිරිපත් වීමට එකඟ වුණු බව (02) ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
මල්වතු මහා විහාරයට ගිය අමාත්‍යවරයා එහිදී මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් සහ අස්ගිරි මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.
අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.
'ජනාධිපතිවරණයේදී ලැබූ ඡන්ද දෙස බලන විට ආසන 120ක පමණ මන්ත්‍රීධූර සංඛ්‍යාවක් මහ මැතිවරණයකදී අපට හිමි වෙනවා. එම ඡන්ද ප්‍රමාණය ලබා ගත්තේ අප සියලු දෙනා එක්ව ලැබූ සමගියකින් මිසක් තනි බලපුළුවන්කාරකමකින් නොවෙයි. ජනාධිපතිවරයා බලාපොරොත්තු වන ශක්තිමත් පාර්ලිමේන්තුවක් සකස් කිරීමට නම් සියලු දෙනා පොදු සන්ධානයකින් යුතුව එක්ව තරඟ වැදීම ඉතාමත්ම වැදගත්.'
'ජනාධිපතිවරණයේදී තමන් රැවටීමකට ලක් වුණු බව උතුරු නැගෙනහිර පදිංචි දෙමළ හා මුස්ලිම් ජනතාව මේ වන විට අවබෝධ කර ගනිමින් සිටිනවා. ඔවුන් යම් තීරණයකට තල්ලුවුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ලබා දී තිබුණු වැරදි අවබෝධයන් නිසයි. එම වැරදි අවබෝධයෙන් ක්‍රමානුකූලව මිදෙන ඔවුන් ඉදිරි මහ මැතිවරණයේදී පැවැති තත්ත්වයට වඩා වෙනස් තීරණයක් වෙත ප්‍රවේශ වෙතැයි අපි අපේක්ෂා කරනවා.'
'මේ කථාකර කර ඉන්න පුළුවන් ආණ්ඩුවක් නොවෙයි. වැඩ කරන ආණ්ඩුවක්. බලයට පත්ව ඉතාම කෙටි කාලයක් තුළදී කුමන තරම් කාර්යයභාරයක් කළා දැයි ජනතාව දන්නවා. අධික බදු බරින් ජනතාව මුදා ගන්න කැබිනට් අනුමැතිය ලබා ගත්තා. ආණ්ඩුවේ තිබුණේ මේ වන විට එක් කැබිනට් රැස්වීමක් පමණයි. අපි මේ දුවන්නේ මිටර් සියය නොව මැරතන් තරඟයක්.'
'ස්වීස් තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික නිලධාරිනියක් පැහැර ගත්තා යැයි කීම එම තානාපති කාර්යාලය විසින් කරන ලද ප්‍රබන්ධයක්. සිද්ධියට සම්බන්ධ එම නිලධාරිනියගේ නම කියන්නේත් නැහැ. අදාල නිලධාරිනිය ලවා සිද්ධිය පිළිබදව පොලීසියට පැමිණිල්ලක්වත් ලබා දී නැහැ. ඇයගෙන් කටඋත්තරයක් ලබා ගැනීමටවත් අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. සිද්ධිය වුණා කියන දිනයේ අදාල ප්‍රදේශයේ සී.සී.ටී.වී. දර්ශනවල එවැන්නක් පටිගත වී නැහැ. ශ්‍රී ලාංකික කාන්තාවක් අකරතැබ්බියකට මුහුණු පා සිටිනවා නම් ඇය පොලීසියට ඉදිරිපත් කර පැමිණිලි කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට සහය පළ කරවීමට කටයුතු කිරීම ස්වීස් තානාපතිවරයාගේ වගකීමයි.'
'මෙය ප්‍රබන්ධයක් යැයි බැලූ බැල්මට ඕනෑම අයෙකුට පැහැදිලියි. රණවිරු දඩයමට සම්බන්ධ අපරාධ විමර්ශන නිලධාරියාට සහ ඔහුගේ පවුලට දේශපාලන රැකවරණය ලබා දී ඇති වූ අවමානය වළක්වා ගැනීම සඳහා එම තානාපති කාර්යාලය මෙම ප්‍රබන්ධය ගොතා තිබෙනවා. ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව අවමානයට පත් කිරීම සඳහා කරන ලද මෙම ප්‍රබන්ධය පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.'
'පසුගිය කාලයේදී දේශීය කර්මාන්ත සම්බන්ධයෙන් පැවතියේ ඉතාමත් පසුගාමී තත්ත්වයක්. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුලු නව රජයේ ප්‍රතිපත්තිය වන්නේ දේශීය කර්මාන්ත නඟා සිටුවා, දීප ව්‍යාප්ත සංවර්ධන කාර්යයක් සිදු කිරීමටයි. වාලච්චේන කඩදාසී කම්හල, පුල්මුඩේ ඛණිජ වැලි කර්මාන්තය ද අතුලුව උතුරු නැගෙනහිර අකර්මණ්‍ය තත්ත්වයට පත්ව ඇති සියලුම කර්මාන්ත ශාලා ඉදිරි මහ මැතිවරණයට පෙර ආරම්භ කිරීමට අප කටයුතු කරනවා යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.'
පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත, මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය නිමල් පියතිස්ස, ජාතික නිදහස් පෙරමුණු යටිනුවර ආසන සංවිධායක ඩී.යූ. සෙනරත් මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
(LNW)